Wednesday, March 1, 2017

උඩරට මැණිකෙට හමුවන සොඳුරු දසුන් මවන ත්‍රාස පව්ව


කොළඹ ඉඳන් උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන කෙනෙකුට රඹුක්කන දුම්රිය ස්ථානයට එහා ඇති කඩිගමුව දුම්රිය ස්ථානය පසු කළ පසු දකුණු පැත්තෙන් බෑවුම් ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. උඩරට දුම්රිය අලගල්‍ලේ කඳුවැටිය හරහා කපන ලද දුම්රිය මාර්ගය ඔස්සේ උඩරට කඳුකරය වෙත මඳින්මඳ සමීප වෙනකොට මේ බෑවුම ඔස්සේ සදාහරිත සබරගමු මිටියාවත හරිම ලස්සනට පේන්න පටන් ගන්නවා. ඒ ඉහළ නගින අතරේ දුම්රියේ සිට සබරගමු මිටියාවත අතිශය මනස්කාන්ත ලෙස දර්ශනය වන  ස්ථානය හැඳින්වෙන්නේ Sensational Rock යනුවෙන්.
මේ ස්ථානයට ඒ නම යොදලා තියෙන්නේ මේ දුම්රිය මාර්ගය තැනූ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන්ම බවයි පැවසෙන්නේ. sensational  කියන ඉංග්‍රීසි වචනයට ශබ්ද කෝෂවල නොයෙකුත් අරුත් දී තිබෙනවා. නමුත් ඒවා සියල්ල කැටි කළාම ඉන් උද්වේගකර වගේ ‍පොදු අරුතක් ද්විතියික කර ගන්න පුළුවන් මේ ස්ථානයට ඉංග්‍රීසින් උද්වේග කර පර්වතය කියලා යොදන්න විශේෂ හේතුවක් තිබෙනවා තමයි මේ ස්ථානයෙන් දුම්රිය ගමන් කරන්නේ මොටන කන්දේ කළුගල් පර්වතයක් හරහා ඉංග්‍රීසි ‘එල්’ අකුරේ හැඩයට කැපූ කට්ටියක් මතින් වීම. එහි ත්‍රාසය ඇති වෙන්නේ ඒ නිසා ‍නෙවෙයි ඒ කට්ටය මැදින් ඇති දුම්රිය පාරෙන් අඩි කීපයක් දකුණු පසින් අඩි දහසකටත් වඩා උසින් යුතු ප්‍රපාතාකාර බෑවුමක් තිබිම; බැරිවෙලාවත් මේ දුර්ගය පසුකරන අතරේ දුම්රියක් පීලී පැනීමකට ලක්වුණොත් ඒ දුම්රිය අඩි දහසකටත් වඩා පහළින් පිහිටි සබරගමු පළාතේ මාවනැල්ලට අයත් දුනුගම, මාලියැද්ද, මීපිටිවල කියන පිටිසර ගම්මානවලට පෙරළෙන බවක් යමකුට හැඟී යා හැකියි. ඒත් බයවෙන්න එපා මේ දුම්රිය මාර්ගය තැනූ ඉංජිනේරුවන් එතරම් අනුවණ නැහැ. මේ කට්ටිය මතදී දුම්රියක් පීලී පැනීමකට ලක්වුණොත් එහි රෝද පීලී අතරේ සිරවීම පිණිස අතිරේක ආරක්ෂක පීල්ලක් (Guard rail) ත්‍රාස පව්ව ප්‍රදේශයේ දුම්රිය මග සඳහා යොදා තිබෙනවා.




කොළඹ සිට උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ඔබට මෙම ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය නම් දුම්රියේ දකුණු පස කවුළුවක් සමීපයේ ගමන් කළ යුතු වෙනවා. එම ඉසව්වේදී දුම්රිය මාර්ගයේ දකුණු පස ඇති සැතපුම් කණු පිළිබඳ විමසිලිමත් වන ඔබට එහි 61 1/4 වැනි සැතපුම් කණුව පසුවත්ම දුම්රිය මෙම ත්‍රාස පව්ව පසු කරන බව වටහා ගන්න පුළුවන්. මේ දුර්ගය මීටර් සීයයකට කිට්ටු දිනකින් යුක්තයි. මොටකන්ද කියන්නේ කන්ද උඩරට රාජධානි සමයේ බලන ක‍පොල්ල හා සම්බන්ධ යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. ඉංග්‍රීසීන් sensational Rock නමින් හඳුන්වන ත්‍රාස පව්ව පැරණි ගැමියන් හඳුන්වන්නේ ‘හකුරා වැටිච්ච ගල’ යනුවෙන්. මහනුවර රාජධානී සමයේ රජ වාසලට හකුරු සැපයූ පුද්ගලයෙක් කිතුලක් මැදීමට යාමේදී මෙම පර්වතයෙන් වැටී මිය යාම නිසා මේ ස්ථානයට ඒ නම පටබැඳුණු බවයි ගැමියන් කියන්නේ. දුම්රිය මාර්ග තනන මුල් යුගයේ කඹයක එල්ලී මේ ප්‍රපාතය තරණය කිරීමට ගිය ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවකුද මෙම ප්‍රපාතයෙන් වැටී මියගිය බවක් පැවසෙනවා.


ඒ ත්‍රාස පව්වෙන් පහළ පෙනෙන ගම්වර අතරට ගැනෙන ‘දුනුගම’ නාමය කන්ද උඩරට රාජධානි සමයේ බලන සටන් සඳහා දුනු සැපයූ ගම්වරය ලෙස පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ මෙම සොඳුරු දසුන් මවන මේ දර්ශන මානයෙන් පහළ පිහිටි සොබාසිරියෙන් අනූන මීපිටිවල, දුනුගම මාලියැද්ද කියන ගම්මානවලට ගියොත් අඩි දහසකටත් වඩා උසින් යුතුව මොටන කන්ද හරහා උඩරට බලා ඇදෙන ‘උඩරට මැණිකේ’ ඉතා දුරින් දැක ගන්න පුළුවන්. රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ අප මේ කියන ඉසව්වට පහසුවෙන් ළඟාවිය හැකියි. මේ ප්‍රදේශයේ ඇති සදාහරිත පාරිසරික වටපිටාව කෙතරම්ද කිවහොත් ‘ගොඩමඩ දෙකම සරුසාරය ඵලබරය’ යනුවෙන් කියැවෙන කේයස් කිවිඳුන්ගේ සුදෝ සුදු කාව්‍යය ඇසුරින් ජාතික රූපවාහිනියේ විකාශනය කෙරුණු ‘සුදෝ සුදු’ ටෙලි නාට්‍යය රූපගත කොට ඇත්තේත් මෙහිදී අපට දැන ගන්නට ලැබුණා. ඒ වගේම මේ ඉසව්වේ සුන්දරත්වය කොතරම් ඉහළ මට්ටමක පවතිනවා ද කිවහොත් ඉංග්‍රීසින් සකස් කළ අඟ‍ලේ සිතියම්වල ත්‍රාස පව්ව ආශ්‍රිත ස්ථානයක් දක්වා ඇත්තේ හොඳ දසුන (Good view) යනුවෙන් මෙම ත්‍රාස පව්වට මහා මාර්ගයෙන් ගමන් කරනවා නම් කොළඹ නුවර ප්‍රධාන පාරේ කඩුගන්නාව රේල් ගේට්ටුව අද්දරින් වමට වැටී ඇති ‍පොත්තපිටිය පාරේ තුනේ කනුව ළඟින් වමට හැරෙන බලන පාරේ ගොස් ‘මොටන’ ප්‍රදේශයට ළං වෙන්න පුළුවන්  















උපුටා ගැනීම ලක්බිම.කොම් 

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්