Monday, March 6, 2017

භාණ්‌ඩ හා සේවා 3ක්‌ සදහා ප්‍රමිති ආයතනය ප්‍රමිති සහතික අනිවාර්ය කරයි

හෙල්මට්‌, පානීය ජල බෝතල සහ ආහාර සැකසුම් ස්‌ථාන (ආපන ශාලා) සඳහා ප්‍රමිති සහතික ලබාගැනීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත.



ආරක්‌ෂක හිස්‌වැසුම් (හෙල්මට්‌) සඳහා වන ප්‍රමිතිය SLS 517 අංකය යටතේත්, ඇසුරුම් කළ පානීය ජල බෝතල් SLS 1336 ( 2008 යටතේත්, ආපනශාලා GMP (යහපත් නිපැයුම් පරිචයන්) සහතිකය යටතේත් මෙසේ ප්‍රමිතිගත වනු ඇත.

මේ ප්‍රමිතීන් හඳුන්වා දෙනු ලබන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 12 (2) වැනි වගන්තිය යටතේ ය. මීට අදාළ ගැසට්‌ නිවේදන 2015 වසරේ දී නිකුත් ව තිබිණි. අදාළ ගැසට්‌ නිවේදනවලට අනුව හෙල්මට්‌ සහ පානීය ජල බෝතල් පිළිබඳ ප්‍රමිතීන් 2016 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙයි. ආපනශාලා ප්‍රමිතිය බලපැවැත්වෙන්නේ 2017 ජනවාරි 01 දින සිට ය.

හෙල්මට්‌ ප්‍රමිතිය A සහ B ලෙස වර්ග දෙකකට අයත් හෙල්මට්‌ සඳහා බලපැවැත්වෙයි. A වර්ගයෙන් නියෝජනය වන්නේ තරග ඉසව්වල භාවිතය සඳහා සහ විශේෂයෙන් ඉහළ මට්‌ටමක ආරක්‌ෂාවක්‌ බලාපොරොත්තු වන පළඳින්නන් ගේ භාවිතය සඳහා වන ආරක්‌ෂක හිස්‌වැසුම් ය. B වර්ගය යටතේ මංමාවත් මත සාමාන්‍ය යතුරුපැදි පදවන්නන් සඳහා වන ආරක්‌ෂක හිස්‌වැසුම් නියෝජනය වේ.

මේ අනුව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ / හෝ ආනයනය කරනු ලබන ඉහත වර්ගීකරණයන්ට අයත් ආරක්‌ෂක හිස්‌වැසුම් SLS 517 භාණ්‌ඩ සහතික ලාංඡනය දරන්නේ නම් මිස නිෂ්පාදනය කිරීමට, ආනයනය කිරීමට, බෙදාහැරීමට, ගබඩා කිරීමට හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමට අවසර නො ලැබේ.

එමෙන් ම පොලිමර් ද්‍රව්‍යයන් ගෙන් සාදන ලද පානීය ජලය ඇසිරීම සඳහා භාවිත කරනු ලබන බඳුන් / බෝතල් සඳහා වන SLS 1336 (2008 ප්‍රමිති පිරිවිතර සපුරන්නේ නම් මිස එකී ද්‍රව්‍යවලින් සාදන ලද බඳුන්වල, බෝතලවල පානීය ජලය ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම හෝ තොග වශයෙන් හෝ සිල්ලරට විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නො කළ යුතු බව ගැසට්‌ නිවේදනයෙහි දක්‌වා ඇත.

ගැසට්‌ නිවේදනයේ ආපනශාලා සඳහා වන යහපත් නිපැයුම් පරිචයන් (GMP) අර්ථ නිරූපණය කර ඇත්තේ මේ අයුරිනි(

විශාල ලෙස ආහාර පාන සැපයීම (mass catering) - සමූහයකට ආහාර පිළියෙල කිරීම සහ / හෝ බෙදාහැරීම හා අහාර පිරිනැමීම.

පිට ස්‌ථානයක ආහාරපාන සැපයීම (outdoor catering) - තමා ගේ ස්‌ථානය නො වන වෙනත් ස්‌ථානයක එක`ග වූ මිලකට හා ආහාර වට්‌ටෝරුවකට, එක`ග වූ පිරිස්‌ සංඛ්‍යාවකට, එක`ග වූ වේලාවක දී ආහාර පාන පිරිනැමීමේ සේවාව.

මෙකී සේවාවන් සපයන කිසිදු අයකු, වෙළෙන්දකු, හෝ සමාන ක්‍රියාවක නිරත වන්නකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් යහපත් නිපැයුම් පරිචයන් (GMP) සඳහා වන සහතිකයක්‌ ලබා තිබිය යුතු අතර එම සුදුසුකම ලබා නැත්නම් අදාළ ව්‍යාපාරවල යෙදිය නොහැකි වේ.

මෙ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඉකුත් සතියේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ගාමිණී ධර්මවර්ධන මහතා මේ වන විටත් හෙල්මට්‌ ආනයනකරුවන්/නිෂ්පාදකයන් 12 දෙනකු නව ප්‍රමිති සහතිකය සඳහා අයදුම්පත් යොමු කර ඇති බවත් ඉන් 5 දෙනකුට ප්‍රමිතිය ලබා දී ඇති බවත් පැවසී ය.

ජල බඳුන් හා බෝතල් ප්‍රමිතිය සඳහා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 29කි. ඉන් 16කට සහතිකය ලබා දී ඇත.

GMP සහතිකය සඳහා අයදුම්පත් 30කට වඩා ලැබී තිබූ අතර 20කට සහතිකය නිකුත් කර තිබේ.

හෙල්මට්‌ ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙහි දී දැනුවත් කිරීමක්‌ සිදු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ (පරීක්‌ෂණාගාර සේවා, ද්‍රව්‍ය අංශය) ඒ. එස්‌. දේවගේ මහතා හෙල්මට්‌වල ප්‍රමිතිය පරීක්‌ෂා කිරීමේ දී මූලික අනතුරු සිදු විය හැකි අවස්‌ථා 3කට එහි ඔරොත්තු දීමේ හැකියාව විමසා බලන බව පවසා සිටියේ ය. නෙරාගිය හෝ තලීය මතුපිටක ගැටුණු විට, තියුණු තුඩක ගැටුණු විට හා හිස ඇතිල්ලී ගිය විට යන අවස්‌ථා එහි දී සලකා බැලෙයි.

බරැති තියුණු තුඩක්‌ මීටර 3ක ඉහළක සිට හෙල්මටය පසාරු කරගෙන යන සේ පතිත වීමට සලස්‌වා ඇතුළත ඇති සංවේදකයකට තුඩෙහි ස්‌පර්ශය දැනුණි ද යන්න පරීක්‌ෂා කිරීම මෙහි එක්‌ අවස්‌ථාවකි. නෙරා ගිය හෝ තලීය හෝ මතුපිටකට මීටර 4ක්‌ උසින් හෙල්මටය අතහැර පතිත වීමේ දී ප්‍රමිතියෙහි සඳහන් ශක්‌තිය අවශෝෂණය කරගැනීමට එහි ඇතුළත ආස්‌තරය සමත් වේ ද යන්න විමසා බැලීම තවත් පරීක්‌ෂණයකි. මෙය එක ම පැත්ත ගැටෙන ලෙස දෙවරක්‌ සිදු කර බැලිය යුතු වේ.

මෙවැනි පරීක්‌ෂණ පෙළකින් සමත් වූ හෙල්මටයක්‌ පැළඳි අය අනතුරකට ගොදුරු වනවා නම් වන්නේ නො සැලකිලිමත් අයුරින් හෙල්මටය පැළඳ සිටීමෙන් මිස හෙල්මටයේ දෝෂයකින් නො වන බව ද හේවගේ මහතා පෙන්වා දුනි.

බොහෝ දෙනා නිකට යටින් හෙල්මට්‌ පටිය නිසි අයුරින් තද නො කරන බැවින් ගැටීමක දී හෙල්මටය ගැලවී විසි වෙයි. සමහර කාන්තාවන් ඉහත සඳහන් පරීක්‌ෂණවලින් අසමත් වන සවි ශක්‌තියෙන් හා ඇතුළත ශක්‌ති අවශෝෂණ රිජිෆොaම් ආස්‌තරයකින් තොර හුරුබුහුටි හෙල්මට පැළඳ යැම ද අනතුරුවලට අතවැනීමකි. සමහර මෝටර් සයිකලවල මාපිය දෙපළ හෙල්මට්‌ පැළඳ ගිය ද කුඩා දරුවා ගේ හිස නිරාවරණයව තබාගෙන යැම ද අවදානම් ය.

නිසි ප්‍රමිතියෙන් යුතු හෙල්මටයක ලක්‌ෂණ දීර්ඝ වශයෙන් විස්‌තර කළ හේවගේ මහතා හෙල්මටයක්‌ පැළඳි අයකු අංශක 105ක පරාසයක්‌ දෙපස ද, අංශක 7ක පරාසයක්‌ උඩ ද අංශක 45ක පරාසයක්‌ පහළ ද දැකීමට සමත් විය යුතු බව පෙන්වා දුන්නේ ය. එසේ නො වුව හොත් පැති කණ්‌ණාඩිය හා වේගමාපකය දෙස බැලීමේ දී ඉදිරි දර්ශන පථය හරිහැටි දෑසට හසු නො වේ. හෙල්මටයේ ප්‍රමිතිය පරීක්‌ෂා කිරීමේ දී මේ කරුණ ද විමර්ශනය කෙරෙයි.

මෙහි දී ආපනශාලා ප්‍රමිතිය සම්බන්ධව කරුණු පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ නියාaජ්‍ය අධ්‍යක්‌ෂ දීපිකා මුණවීර මහත්මිය මෙය ඇත්ත වශයෙන් ම පසුගිය වසරේ පිළියල කරන ලද මාර්ගෝපදේශන සංග්‍රහයක්‌ බව පැවසුවා ය. නිෂ්පාදනයෙහි සිට පාරිභෝගකයා අතට පත් වන තුරු ආහාරයෙහි ප්‍රමිතිය ආරක්‌ෂා කරගැනීමේ උපදෙස්‌ මාලාවක්‌ එහි අන්තර්ගත වේ.

එ අනුව පිසූ හා අමු ආහාර එකිනෙකින් වෙන් කර තැබීමේ අවශ්‍යතාව, නියමිත උෂ්ණත්වයට පිසීම හා ගබඩා කිරීම, ආහාර පිසින්නන් ගේ සෞඛ්‍යාරක්‌ෂිත බව, නැවත නැවත රත් නො කිරීම, පිළිගන්වන උපකරණ හා බඳුන්වල ප්‍රමිතිය වැනි කරුණු මේ උපදෙස්‌ සංග්‍රහයෙහි අවධාරණය කර ඇත.

5 comments:

  1. හෙල්මට් වල ප්‍රමිතිය වැඩි කිරීම නම් සෑහෙන වටිනවා බන්...
    බොලොගර් ෆ්ලෝවර් එක දාගනින්කෝ

    ReplyDelete
    Replies
    1. උපදෙස් වලට බොහොම ස්තුතියි ..ඔන්න දැම්මා

      Delete
  2. සුමුදු....මේ බ්ලොග් එක අදයි දැක්කෙ. වැදගත් තොරතුරු. ඒ කියන්නේ අවුට් ඩෝ කේටරස්ලාට මෙච්චර කාලයක් ප්‍රමිති ආයතන නිරීක්ශනයක් තිබුනේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. Meke thiyena widiyata thibila na..samahara ewa nagara sabhaa walin නිරීක්ෂණය karala thibunata pramithiyak na..hari nam oke issellama karanna one dura gaman sewa bus නවත්වන thAn

      Delete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්