Showing posts with label trip. Show all posts
Showing posts with label trip. Show all posts

Wednesday, March 1, 2017

උඩරට මැණිකෙට හමුවන සොඳුරු දසුන් මවන ත්‍රාස පව්ව


කොළඹ ඉඳන් උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන කෙනෙකුට රඹුක්කන දුම්රිය ස්ථානයට එහා ඇති කඩිගමුව දුම්රිය ස්ථානය පසු කළ පසු දකුණු පැත්තෙන් බෑවුම් ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. උඩරට දුම්රිය අලගල්‍ලේ කඳුවැටිය හරහා කපන ලද දුම්රිය මාර්ගය ඔස්සේ උඩරට කඳුකරය වෙත මඳින්මඳ සමීප වෙනකොට මේ බෑවුම ඔස්සේ සදාහරිත සබරගමු මිටියාවත හරිම ලස්සනට පේන්න පටන් ගන්නවා. ඒ ඉහළ නගින අතරේ දුම්රියේ සිට සබරගමු මිටියාවත අතිශය මනස්කාන්ත ලෙස දර්ශනය වන  ස්ථානය හැඳින්වෙන්නේ Sensational Rock යනුවෙන්.
මේ ස්ථානයට ඒ නම යොදලා තියෙන්නේ මේ දුම්රිය මාර්ගය තැනූ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන්ම බවයි පැවසෙන්නේ. sensational  කියන ඉංග්‍රීසි වචනයට ශබ්ද කෝෂවල නොයෙකුත් අරුත් දී තිබෙනවා. නමුත් ඒවා සියල්ල කැටි කළාම ඉන් උද්වේගකර වගේ ‍පොදු අරුතක් ද්විතියික කර ගන්න පුළුවන් මේ ස්ථානයට ඉංග්‍රීසින් උද්වේග කර පර්වතය කියලා යොදන්න විශේෂ හේතුවක් තිබෙනවා තමයි මේ ස්ථානයෙන් දුම්රිය ගමන් කරන්නේ මොටන කන්දේ කළුගල් පර්වතයක් හරහා ඉංග්‍රීසි ‘එල්’ අකුරේ හැඩයට කැපූ කට්ටියක් මතින් වීම. එහි ත්‍රාසය ඇති වෙන්නේ ඒ නිසා ‍නෙවෙයි ඒ කට්ටය මැදින් ඇති දුම්රිය පාරෙන් අඩි කීපයක් දකුණු පසින් අඩි දහසකටත් වඩා උසින් යුතු ප්‍රපාතාකාර බෑවුමක් තිබිම; බැරිවෙලාවත් මේ දුර්ගය පසුකරන අතරේ දුම්රියක් පීලී පැනීමකට ලක්වුණොත් ඒ දුම්රිය අඩි දහසකටත් වඩා පහළින් පිහිටි සබරගමු පළාතේ මාවනැල්ලට අයත් දුනුගම, මාලියැද්ද, මීපිටිවල කියන පිටිසර ගම්මානවලට පෙරළෙන බවක් යමකුට හැඟී යා හැකියි. ඒත් බයවෙන්න එපා මේ දුම්රිය මාර්ගය තැනූ ඉංජිනේරුවන් එතරම් අනුවණ නැහැ. මේ කට්ටිය මතදී දුම්රියක් පීලී පැනීමකට ලක්වුණොත් එහි රෝද පීලී අතරේ සිරවීම පිණිස අතිරේක ආරක්ෂක පීල්ලක් (Guard rail) ත්‍රාස පව්ව ප්‍රදේශයේ දුම්රිය මග සඳහා යොදා තිබෙනවා.




කොළඹ සිට උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ඔබට මෙම ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය නම් දුම්රියේ දකුණු පස කවුළුවක් සමීපයේ ගමන් කළ යුතු වෙනවා. එම ඉසව්වේදී දුම්රිය මාර්ගයේ දකුණු පස ඇති සැතපුම් කණු පිළිබඳ විමසිලිමත් වන ඔබට එහි 61 1/4 වැනි සැතපුම් කණුව පසුවත්ම දුම්රිය මෙම ත්‍රාස පව්ව පසු කරන බව වටහා ගන්න පුළුවන්. මේ දුර්ගය මීටර් සීයයකට කිට්ටු දිනකින් යුක්තයි. මොටකන්ද කියන්නේ කන්ද උඩරට රාජධානි සමයේ බලන ක‍පොල්ල හා සම්බන්ධ යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. ඉංග්‍රීසීන් sensational Rock නමින් හඳුන්වන ත්‍රාස පව්ව පැරණි ගැමියන් හඳුන්වන්නේ ‘හකුරා වැටිච්ච ගල’ යනුවෙන්. මහනුවර රාජධානී සමයේ රජ වාසලට හකුරු සැපයූ පුද්ගලයෙක් කිතුලක් මැදීමට යාමේදී මෙම පර්වතයෙන් වැටී මිය යාම නිසා මේ ස්ථානයට ඒ නම පටබැඳුණු බවයි ගැමියන් කියන්නේ. දුම්රිය මාර්ග තනන මුල් යුගයේ කඹයක එල්ලී මේ ප්‍රපාතය තරණය කිරීමට ගිය ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවකුද මෙම ප්‍රපාතයෙන් වැටී මියගිය බවක් පැවසෙනවා.


ඒ ත්‍රාස පව්වෙන් පහළ පෙනෙන ගම්වර අතරට ගැනෙන ‘දුනුගම’ නාමය කන්ද උඩරට රාජධානි සමයේ බලන සටන් සඳහා දුනු සැපයූ ගම්වරය ලෙස පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ මෙම සොඳුරු දසුන් මවන මේ දර්ශන මානයෙන් පහළ පිහිටි සොබාසිරියෙන් අනූන මීපිටිවල, දුනුගම මාලියැද්ද කියන ගම්මානවලට ගියොත් අඩි දහසකටත් වඩා උසින් යුතුව මොටන කන්ද හරහා උඩරට බලා ඇදෙන ‘උඩරට මැණිකේ’ ඉතා දුරින් දැක ගන්න පුළුවන්. රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ අප මේ කියන ඉසව්වට පහසුවෙන් ළඟාවිය හැකියි. මේ ප්‍රදේශයේ ඇති සදාහරිත පාරිසරික වටපිටාව කෙතරම්ද කිවහොත් ‘ගොඩමඩ දෙකම සරුසාරය ඵලබරය’ යනුවෙන් කියැවෙන කේයස් කිවිඳුන්ගේ සුදෝ සුදු කාව්‍යය ඇසුරින් ජාතික රූපවාහිනියේ විකාශනය කෙරුණු ‘සුදෝ සුදු’ ටෙලි නාට්‍යය රූපගත කොට ඇත්තේත් මෙහිදී අපට දැන ගන්නට ලැබුණා. ඒ වගේම මේ ඉසව්වේ සුන්දරත්වය කොතරම් ඉහළ මට්ටමක පවතිනවා ද කිවහොත් ඉංග්‍රීසින් සකස් කළ අඟ‍ලේ සිතියම්වල ත්‍රාස පව්ව ආශ්‍රිත ස්ථානයක් දක්වා ඇත්තේ හොඳ දසුන (Good view) යනුවෙන් මෙම ත්‍රාස පව්වට මහා මාර්ගයෙන් ගමන් කරනවා නම් කොළඹ නුවර ප්‍රධාන පාරේ කඩුගන්නාව රේල් ගේට්ටුව අද්දරින් වමට වැටී ඇති ‍පොත්තපිටිය පාරේ තුනේ කනුව ළඟින් වමට හැරෙන බලන පාරේ ගොස් ‘මොටන’ ප්‍රදේශයට ළං වෙන්න පුළුවන්  















උපුටා ගැනීම ලක්බිම.කොම් 

Thursday, February 23, 2017

කතරගම අතරමඟ උණු වතුර තොටුපොළ

සංචාරයට හිතැත්තෙකුට මදුනාගල කියන නම කියන විටම සිහියට එන්නේ ලංකාවේ ජනප්‍රියම උණුදිය පොකුණු දෙකෙන් එකක්. අනික පිහිටලා තියෙන්නේ කින්නියාවල. උණුවතුර ළිඳක නානවා කියන අත්දැකීම සමහරැන්ට ලැබිලා තිබුණාට සමහරැන්ට ඒක ලැබිලා නෑ. කතරගම යන ගමන් පහසුවෙන් ගිහින් නිදහසේ ස්වාභාවික උණුවතුර ටිකක් නා කියාගෙන එන්න පුළුවන්කම තියෙද්දී පිට පාරෙන් යන්නට යන අයට පාර කියන්නත් එක්ක ඔන්න අද අපි යනවා මදුනාගල උණුවතුර ළිංවලින් නාගන්න.

පදලංගල සූරියවැව ප්‍රධාන පාරේ පදලංගල සිට කි.මී. 9ක් පමණ සූරියවැව දෙසට පැමිණියාට පස්සේ හමුවෙන විහාරගල හතරමං හදියෙන් දකුණට හැරී කී.මීග 04 ක් පමණ ගමන් කළ පසු මනරම් භුමි ප්‍රදේශයක මේ උණුවතුර ළිං පිහිටලා තිබෙනවා. අපි කට වහරේ උණුවතුර ළිං කියූ පමණින් සිහිවෙන්නේ මේ ළිඳෙන් උනන ජලයේ උණුසුම වැඩියි යන්න පමණයි.
නමුත් මේ ජලයේ තිබෙන රසායන හා ඛණිජ සංයුතිය සාමාන්‍යයෙන් අපි ස්නානය කරන ජලයට වඩා වෙනස්. රෝග සුව කිරීමේ ඖෂධීය හැකියාවක් මේ උණුවතුර ළිංවලින් ගලා එන ජලයේ තිබෙනවා යන්න මිනිසුන් විශ්වාස කරනවා. අද වෙද්දී මදුනාගල උණුවතුර ළිංවල ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් පමණ වෙනවා. නමුත් අතීතයේ මෙහි ජලයේ උෂ්ණත්වයෙන් බිත්තර තම්බන්න පවා හැකි වූ බව ගම්වැසියෝ කියනවා. වර්තමානයේ මෙම ස්ථානයේ ඇති ප්‍රධාන උණුදිය උල්පත වටකොට තවත් ජල ටැංකි පහක් ඉදිකරලා තිබෙනවා.
මෙම ජල ටැංකි පහේ උෂ්ණත්වය එකින් එකට වෙනස්. එනම්, උණුදිය උල්පත වටා බැදි ජල ටැංකිය තමයි වඩා වැඩිම උෂ්ණත්වයක් ඇති ජල ටැංකිය. ඒ තුළ ජලය ඉහළ උෂ්ණත්වයකින් පවතින නිසා ඒ තුළින් දිය බුබුළු මතුවනු දකින්නත් පුළුවන්. ඒ වටා තිබෙන අනෙක් ටැංකි සාදා තිබෙන්නේ ප්‍රධාන බුබුලෙන් එන උණුසුම් ජලය බාහිර සීතල ජලය සමඟ මුහුකරලා උෂ්ණත්වය අඩුවන ආකාරයට. ඒ නිසා අධික උණුසුමෙන් යුත් ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන නිසා ඇඟ පුච්චගන්නේ නැතිව නාන්න සංචාරකයින්ට පුළුවනි.
තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ උණුදිය පොකුණ බාහිර පිරිස් සඳහා විවෘතව තියෙන්නේ උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා පමණයි. ටැංකි තුළට බැසීමට කිසිසේත් අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. ඒ වගේම සබන් ආදිය ටැංකි මත තබන්න ඉඩකුත් නෑ. ප්‍රධානම කාරණය තමයි පොහොය දින හා ඉරිදා සෙනසුරාදා වගේ දවස්වලට උණුදිය පොකුණෙන් නාන්න ඉඩ දෙන්නේ නෑ.

ඒ මෙහි පැමිණෙන විශාල පිරිස එහි ස්නානය කළොත් පොකුණ සිඳෙන්න පුළුවන් නිසා. මොකද ජලය උනන වේගයට වඩා වේගයකින් ජලය ස්නානයට පාවිච්චි කරන නිසා. සුළු මුදලක් අය කරනවා මෙතැනට ඇතුළු වන්න. ඒ මුදල මෙම ස්ථානය පිරිසිදු කිරීම් ආදියට වැය කරනවා. එහෙනම් කතරගමට යන අතරමඟ මෙතැනටත් ගිහින් හොට් වෝටර් බාත් එකක් අරගෙනම යන්න.

Monday, February 20, 2017

කෑගලු දිස්ත්‍රික්කයේ පුංචි නුවරඑළියට යමු


අපි බොහෝ දෙනෙක් නුවරඑළිය ගැන දන්නවා; ඒ වගේම බොහෝ දෙනෙක් ජීවිතයේ එක වරක් හෝ නුවරඑළියට යන්නත් ඇති; නමුත් පරිසර ලෝලීන් ‘පුංචි නුවරඑළිය’ නමින් හඳුන්වන සිසිල් සුවදායක කඳුකර පරිසරයක් කෑගල්ල දිස්ත්‍රික්කයේත් තියන බව ඔබ දන්නවාද ? මේ ප්‍රදේශය හඳුන්වන්නේ උඩපැලම්පිටිය නමින්. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටියේ ඉඳන් දේදුගල පාරේ කිලෝමීටර් විස්සක දුරක් යන ඔබට මේ පුංචි නුවරඑළියට සේන්දු වෙන්න පුළුවන්. මේක කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති වුණාට මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ කඳවලට අතිශයින් සමීප ගමක්. නුවරඑළිය දිස්ත්‍රික්කයටත් තරමක් සමීපයි.
ඔබ මේ පුංචි නුවරඑළියට යනවා නම් ඒ අතරමග ඇති දේදුගලටත් ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා; අපේ රටේ බොහෝ ගම්මාන නගර බවට පත්වෙන අතරේ මේ දේදුගල නගරය දැන් ගමක් බවට පත් නගරයක්. ඉංග්‍රීසින් තේ වගාව ඇරඹූ සමයේ නගරාංග රැසකින් සමන්විත වෙලා තිබුණු දේදුගල 1970 දශකයේ වතු ආර්ථිකය බිඳවැටීමත් සමග පිටිසර ගම්මානයක් බවට පත්වෙලා. අපි යනකොට දේදුගල මහ වීදිය මැද පාර පාරෙ බලු රාළලා කීප දෙනෙක් සනීපෙට නිදි. ඉතින් ඒකෙන්ම හිතාගන්නකෝ මේ නගරයේ ජනාකීර්ණ බව.
දේදුගල ඉඳන් උඩපැලම්පිටියට කිලෝමීටර් හතක් විතර තියනවා; ඒ කිලෝ මීටර් හත ඇතුළත භූ විෂමතාව මුහුදු මට්ටමින් අඩි දෙදහස් හත්සියක් දක්වා ඉහළ යන නිසා ඒ ඒක ශීඝ්‍ර බෑවුමක් සහිත පාරක්.



බුලත්කොහුපිටියේ ඉඳන් උඩපැලම්පිටියට යන මග අද්දර දර්ශනීය දිය ඇලි කිහිපයක් තිබෙනවා. ඒ මාර්ගයේ මුලින්ම රිකිලි ඇල්ල නම් පුංචි දිය ඇල්ලක් හමුවෙනවා. ඊළඟට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දියඇලි අතරට ගැනෙන නළඟන ඇල්ල. හැබැයි ඒ ඇල්ල නරඹන්න නම් ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් පන්සීයක් විතර ඇතුළට යන්න වෙනවා.
ඒ මාර්ගයේ දී හමුවන තුන්වන ඇල්ල තමයි දේදුගල කිට්ටුව ඇති රුක්මල් ඇල්ල; ඊළඟට දිය ඇල්ලක් දකින්න ලැබෙන්නේ උඩපැලම්පිටියෙදී ඒකට කියන්නේ දිය ඇගිරෙන ඇල්ල කියලා.
නුවරඑළියේ තරම් තද ශීතලක් නැතත් පරිසරවේදීන් උඩපැලම්පිටියට පුංචි නුවරඑළිය කියන්න හේතු ගණනාවක් තියනවා. ඉන් එකක් තමයි හොඳට අව්ව පායලා තියන ඒ ප්‍රදේශය එක්වරම වැහි අඳුරකින් සහ තද මිහිදුමකින් වැසී යාම. ඒ වගේම දොළොස් බාගේ කඳු දෙසින් වරින්වර හමා එන සිසිලැල් සුළං නිසා ඒ ආශ්‍රිත පරිසරය ගතට වගේම සිතටත් සිසිලසක් දීමට සමත්.
මේ උඩපැලම්පිටියේ ඉඳලා මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ නගරයට තියෙන්නේ කිලෝමීටර් පහක් විතරයි. නමුත් කඳු වැටි සහ ප්‍රපාතාකාර බෑවුම් අතරින් වැටිලා තියන මේ මාර්ගය තවමත් සම්පූර්ණයෙන් තනා නැහැ.  කෑගල්ල, බුලත්කොහුපිටිය හරහා නුවරඑළිය දක්වා අලුතින් තැනෙන මහාමාර්ගයක මුල් අවස්ථාව මෙය බවයි පැවැසෙන්නේ. ඒ කොහොම හරි මේ මාර්ගය තනා නිමවුණු පසුව කොළඹ නුවරඑළිය අතර දුර ප්‍රමාණය කිලෝමීටර් හතළිහකින් විතර අඩු වන බවක් කියැවෙනවා.




උඩපැලම්පිටියේ සිට මේ දොළොස්බාගේ මාර්ගයට පිවිසෙන තැන හරිම අපූරු ස්වාභාවික ක‍පොල්ලක් පිහිටා තිබෙනවා. මේ ස්ථානයේ සිට බලනකොට සිරිපා කඳුවැටිය අතේ දුරින් වගේ දැක ගන්න පුළුවන්. ඒ වගේම මිහිදුමින් තොර රාත්‍රී කාලවලදී කොළඹ නගරයේ ආලෝකය ද මේ ක‍පොල්ලට එපිටින් දර්ශනය වන බව ගම්මුන් කියනවා. ඒ කෙසේ හෝ තවමත් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ විශාල පැමිණීමක් නැති නිසා උඩපැලම්පිටියේ සංචාරක පහසුකම් නම් නැහැ. ඒ නිසා මේ ගමනේදී නවාතැන් පහසුකම් ලබා ගත හැක්කේ කිලෝමීටර් විස්සක් දුරින් පිහිටි බුලත්කොහුපිටියෙන්ම තමයි. ඒ කොහොම වුණත් පරිසර දූෂණයෙන් කිළිටි නොවූ සොබාදහමේ අසිරියෙන් නොඅඩු පරිසරයක දවසක් ගත කිරීමට සිහින මවන ඔබට කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පුංචි නුවරඑළිය හෙවත් උඩපැලම්පිටිය ඒ සඳහා කදිම සොඳුරු පාරාදීසයක් වනු ඇති.









උපුටා ගැනීම ලක්බිම.කොම් මගිනි