Thursday, February 23, 2017

කතරගම අතරමඟ උණු වතුර තොටුපොළ

සංචාරයට හිතැත්තෙකුට මදුනාගල කියන නම කියන විටම සිහියට එන්නේ ලංකාවේ ජනප්‍රියම උණුදිය පොකුණු දෙකෙන් එකක්. අනික පිහිටලා තියෙන්නේ කින්නියාවල. උණුවතුර ළිඳක නානවා කියන අත්දැකීම සමහරැන්ට ලැබිලා තිබුණාට සමහරැන්ට ඒක ලැබිලා නෑ. කතරගම යන ගමන් පහසුවෙන් ගිහින් නිදහසේ ස්වාභාවික උණුවතුර ටිකක් නා කියාගෙන එන්න පුළුවන්කම තියෙද්දී පිට පාරෙන් යන්නට යන අයට පාර කියන්නත් එක්ක ඔන්න අද අපි යනවා මදුනාගල උණුවතුර ළිංවලින් නාගන්න.

පදලංගල සූරියවැව ප්‍රධාන පාරේ පදලංගල සිට කි.මී. 9ක් පමණ සූරියවැව දෙසට පැමිණියාට පස්සේ හමුවෙන විහාරගල හතරමං හදියෙන් දකුණට හැරී කී.මීග 04 ක් පමණ ගමන් කළ පසු මනරම් භුමි ප්‍රදේශයක මේ උණුවතුර ළිං පිහිටලා තිබෙනවා. අපි කට වහරේ උණුවතුර ළිං කියූ පමණින් සිහිවෙන්නේ මේ ළිඳෙන් උනන ජලයේ උණුසුම වැඩියි යන්න පමණයි.
නමුත් මේ ජලයේ තිබෙන රසායන හා ඛණිජ සංයුතිය සාමාන්‍යයෙන් අපි ස්නානය කරන ජලයට වඩා වෙනස්. රෝග සුව කිරීමේ ඖෂධීය හැකියාවක් මේ උණුවතුර ළිංවලින් ගලා එන ජලයේ තිබෙනවා යන්න මිනිසුන් විශ්වාස කරනවා. අද වෙද්දී මදුනාගල උණුවතුර ළිංවල ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් පමණ වෙනවා. නමුත් අතීතයේ මෙහි ජලයේ උෂ්ණත්වයෙන් බිත්තර තම්බන්න පවා හැකි වූ බව ගම්වැසියෝ කියනවා. වර්තමානයේ මෙම ස්ථානයේ ඇති ප්‍රධාන උණුදිය උල්පත වටකොට තවත් ජල ටැංකි පහක් ඉදිකරලා තිබෙනවා.
මෙම ජල ටැංකි පහේ උෂ්ණත්වය එකින් එකට වෙනස්. එනම්, උණුදිය උල්පත වටා බැදි ජල ටැංකිය තමයි වඩා වැඩිම උෂ්ණත්වයක් ඇති ජල ටැංකිය. ඒ තුළ ජලය ඉහළ උෂ්ණත්වයකින් පවතින නිසා ඒ තුළින් දිය බුබුළු මතුවනු දකින්නත් පුළුවන්. ඒ වටා තිබෙන අනෙක් ටැංකි සාදා තිබෙන්නේ ප්‍රධාන බුබුලෙන් එන උණුසුම් ජලය බාහිර සීතල ජලය සමඟ මුහුකරලා උෂ්ණත්වය අඩුවන ආකාරයට. ඒ නිසා අධික උණුසුමෙන් යුත් ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන නිසා ඇඟ පුච්චගන්නේ නැතිව නාන්න සංචාරකයින්ට පුළුවනි.
තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ උණුදිය පොකුණ බාහිර පිරිස් සඳහා විවෘතව තියෙන්නේ උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා පමණයි. ටැංකි තුළට බැසීමට කිසිසේත් අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. ඒ වගේම සබන් ආදිය ටැංකි මත තබන්න ඉඩකුත් නෑ. ප්‍රධානම කාරණය තමයි පොහොය දින හා ඉරිදා සෙනසුරාදා වගේ දවස්වලට උණුදිය පොකුණෙන් නාන්න ඉඩ දෙන්නේ නෑ.

ඒ මෙහි පැමිණෙන විශාල පිරිස එහි ස්නානය කළොත් පොකුණ සිඳෙන්න පුළුවන් නිසා. මොකද ජලය උනන වේගයට වඩා වේගයකින් ජලය ස්නානයට පාවිච්චි කරන නිසා. සුළු මුදලක් අය කරනවා මෙතැනට ඇතුළු වන්න. ඒ මුදල මෙම ස්ථානය පිරිසිදු කිරීම් ආදියට වැය කරනවා. එහෙනම් කතරගමට යන අතරමඟ මෙතැනටත් ගිහින් හොට් වෝටර් බාත් එකක් අරගෙනම යන්න.

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්