Sunday, February 19, 2017

මද්දුම බණ්‌ඩාරටත් එහා ගිය ත්‍රීමාවිතාන වීරයා


උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ස්‌ථාපිත කරන්නට උත්සාහ දැරූ අවධියේ ඊට එරෙහිව කටයුතු කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පත්මසිරි ත්‍රීමාවිතාන ශිෂ්‍යයා හිසට පරාල ඇණ ගසා ඝාතනය කරනු ලැබීය. එවකට එකී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැති රැස්‌වීම්වල කථික ලැයිස්‌තුවේ සිටි ප්‍රධාන කථිකයකු මේ වන විට වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු ලෙස හිඳිමින් සයිටම් වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් සෘජුව පෙනීසිටින බවට චෝදනා එල්ල වෙයි. මෙවැනි හේතු නිසා පත්මසිරි ත්‍රීමාවිතානගේ මරණය නැවත කියවීම අවශ්‍යය. මේ මොහොතේ එය ඉතාමත්ම අවශ්‍යය.

අද සිහි කරන විට ලඡ්ජාවට කරුණක්‌ වුවද, එදවස මම ද 'ටියුෂන් කාරයකු' වීමි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට ප්‍රතිඵල ලැබෙන තෙක්‌ සහ ඉන් අනතුරුව 

රැකියාවක්‌ ලැබෙන තෙක්‌ ගත කරන්නට සිදු වූ කාලය, කලකට පසු ලැබුණු විරාමයක්‌ ලෙස සලකා විනෝදයෙන් හා කෙළිදෙලෙන් ගත කරන්නට අවැසි වාතාවරණයක්‌ නොවු නිසාම, යම් ආදායමක්‌ ලැබෙන කාර්යයක නිරත වීමේ අවශ්‍යතාව ඇති විය. එම අවශ්‍යතාව හමුවේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීමේ ශිෂ්‍ය සටන්වල පෙරමුණේ හිඳිමින් හඬඟා කී සටන් පාඨ අමතක කර නිදහස්‌ අධ්‍යාපනයේ මළගමට දායක වන ව්‍යාපාරයක නිරත වන්නට සිදු විය. වෙනත් ආකාරයකට කිවහොත් උසස්‌ පෙළ ජීව විද්‍යා අංශයේ උද්භිද විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු බවට පත් වීමට සිදු විය. කාලය අසූව දශකයයි. තැන අම්බලන්ගොඩ නගරයේ ප්‍රධානතම ටියුෂන් මධ්‍යස්‌ථාන දෙකෙන් එකකි. නම, තිස්‌ස ලොකු පරාක්‍රම ලෙසින් වූ අන්වර්ථ නාමයකි. 

(උපාධිය සමත් වීමෙන් පසුව පශ්චාත් උපාධියක්‌ සඳහා යොමු වීමට බලාපොරොත්තුවක්‌ තිබු නිසාත් එහිදී අධීක්‌ෂක තනතුරේ තබා ගැනීමට තෝරාගෙන සිටි මහාචාර්යවරයා ටියුෂන් විරෝධියෙකු වූ නිසාත් එලෙස අන්වර්ථ නාමයක්‌ ගැනීමට සිදු විය.)

නවක ගුරුවරයකු ලෙසින් පංතිය ආරම්භ කළ ද එහි සිසුන් සංඛ්‍යාව සතියෙන් සතිය ඉහළ යන්නට විය. කවර හෝ ඉඩක්‌ ලැබෙන්නේ නම් ගාස්‌තු ගෙවීම මඟහැර ටියුෂන් පංතියට සහභාගී වීමට කොල්ලන් සමර්ථය. එනිසාම ශාලාවේ දොර ළඟ හිඳිමින් 'කාඩ් ලකුණු කරන' ගෝලයාට, ටියුෂන් පංති කරවන 'මුදලාලි' උපදෙස්‌ දී තිබුණේ මාසය අවසානයේදීත් මුදල් නොගෙවූ සිසුන් වෙතොත් ඔවුන් වෙනම රඳවාගෙන පංතියට පැමිණෙන 'සර්' ට යොමු කරන ලෙසයි. එහිදී බොහෝ විට සිදු වන්නේ 'සර්' ඔවුන් සමඟ කතා කොට එදින පංතියට ඇතුළු වීමට අවසර දීමයි. එහිදී ඇතිවන අපහසුතාවයෙන් මිදෙන්නට අවශ්‍ය නිසාම එම සිසුන් ඊළඟ දවසේ මුදල් ගෙවන බව මුදලාලිත් ගෝලයාත් දනිති. පංති ගාස්‌තු නොගෙවීම පිළිබඳව විමසීම ගුරුවරයෙකුට අප්‍රසන්න වුවද 'ව්‍යාපාරය කළමනාකරණය' කිරීමේ පියවරක්‌ වශයෙන් එය කළ යුතු විය. මාසයේ අවසාන සතියක්‌ වූ එදින ද එවැනි සිසුන් පිරිසක්‌ විමසීමට සිදු විය. එකිනෙකා විමසීමේ දී ඔවුන් සියල්ලන්ගේම වාගේ පොදු පිළිතුරු වූයේ "ඊ ළඟ සතියේ මුදල් ගෙවනවා" යන්නයි. එහෙත් ඒ අතරින් එක්‌ සිසුවකුගෙන් ලැබුණේ වෙනස්‌ පිළිතුරකි. "අම්ම තවම සල්ලි එව්වෙ නෑ සර්..." යන්න ඔහුගේ පිළිතුර විය. ගාස්‌තු ගෙවීමට නොහැකිව සිටි ඉතිරි සිසුන් කීපදෙනාද විමසා පංතියට යවන තෙක්‌ ඔහුට පසෙකට වී සිටින්නට උපදෙස්‌ දී අවසානයේ නැවතත් ඔහු විමසීමි. 

"පුතාගෙ නම මොකක්‌ද"

"පත්මසිරි ත්‍රීමාවිතාන"

"අම්ම සල්ලි එව්වෙ නෑ කිව්වනේ..., ඇයි බෝඩිං වෙලාද ඉන්නෙ?"

"නෑ සර් ගෙදර ඉඳල එන්නෙ....... ගෙවල් තියෙන්නෙ මේ ළඟ....... කහව......"

"එතකොට අම්ම කොහෙද ඉන්නෙ."

"අම්ම මැදපෙරදිග ගියා..., සැරින් සැරේ අපිට සල්ලි එවනවා.... මේ සැරේ ටිකක්‌ ප්‍රමාදයි සර්...."

පියා උපයන ආදායම සයදෙනෙකුගෙන් යුත් පවුලේ බඩවියත රැක ගැනීමෙන් ඔබ්බට, ප්‍රමාණවත් නොවූ නිසා සහ දරුවන්ට ඉගැන්වීමේ වටිනාකම දැන සිටි නිසාම ඒ අම්මා මැද පෙරදිග රැකියාවකට ගොසිනි. මේ විස්‌තර දැනගත් මොහොතේම පංති ගාස්‌තු ගෙවීමෙන් ඔහු නිදහස්‌ කළෙමි. එපමණකින් නොනැවතී, එම මධ්‍යස්‌ථානයේ ඔහු සහභාගී වූ අනෙකුත් පංතිවල ගාස්‌තු ගෙවීමෙන්ද ඔහු නිදහස්‌ කිරීමට කටයුතු කළෙමි. මෙම විශේෂත්වය නිසාම පංති කාමරය තුළදී ඔහු පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු වීම නිතැතින්ම සිදු විය. ඒ නිසාමදෝ ඔහු ද අනෙකුත් සිසුන්ට වඩා උනන්දුවෙන් ඉගෙනීමේ නිරත වන බවක්‌ පෙනෙන්නට තිබිණ. ගාස්‌තු වලින් නිදහස්‌ කිරීමට පෙර පංතිවලට සහභාගි වීමේ අඩුවක්‌ අදාළ ලේඛන වලින් පෙන්නුම් කළ ද එයින් පසුව එවැනි අඩුවක්‌ නොවීය. එපමණක්‌ නොව ශිෂ්‍යයකු ලෙස ඔහු මා වෙත වඩාත් සමීප විය. බොහෝ දිනවල පන්ති අවසාන වී නවාතැනට එනු පිණිස අම්බලන්ගොඩ බස්‌ නැවතුමට පා ගමනින් යන විට ඔහු ද මා සමඟම පැමිණ බස්‌ රථයක්‌ පැමිණෙන තුරුම රැඳී සිටියේ විෂය කරුණු මෙන්ම වෙනත් කරුණු සම්බන්ධයෙන් ද අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. උසස්‌ පෙළ විභාගයට පෙනීසිටීමෙන් පසු ව තමන් ලියූ පිළිතුරු පිළිබඳව ගුරුවරුන් සමඟ සාකච්ඡා කිරීමට ද ඔහු උනන්දු වූ අතර ඒ අනුව තමන් විභාගයෙන් සමත් වන බව ඔහු දැන ගත් නමුදු ඊළඟ කණ්‌ඩායම සඳහා අලුතින් පන්තිය ආරම්භ කළ විට මුල් දින කිහිපය තුළ ඔහු ඒ පන්තියට ද පැමිණියේය. කුමක්‌ සඳහා නැවත පන්තියට එන්නේ දැයි විමසූ කල ඔහු දුන් පිළිතුර වූයේ පන්තියට අලුතින් පැමිණෙන නංගිලා මල්ලිලාට පන්තිය පිළිබඳව කියා දීමට එසේ පැමිණෙන බවයි. මේ සියල්ල ඔහු ස්‌වෙච්ඡාවෙන් ම සිදු කළේ තමන්ට කළ උපකාරයට කළගුණ සැලකීමටය. පත්මසිරි ත්‍රීමාවිතාන බුද්ධිමත් මෙන්ම ගුණ යහපත් සහ සංවේදී දරුවකු බව ඒ සියල්ලෙන් ප්‍රකට කළේය. 

බලාපොරොත්තු වූ පරිදිම ඔහු උසස්‌ පෙළ විභාගය ද ඉහළින්ම සමත් විය. පන්තියට පැමිණ මහත් සතුටින් තම ප්‍රතිඵල දැනුම් දී ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් උපදෙස්‌ ගැනීමට මා හමුවීමට පැමිණෙන බව දන්වා සිටියේ ය. ඒ සඳහා දිනයක්‌ ද ලබා ගත්තේය.

ඒ අනුව ඔහු මා හමු වීමට පැමිණියේ ඔහු මෙන්ම හොඳින් විභාගය සමත් වූ කපිල සෙනෙවිරත්න නමැති මාගේ තවත් ශිෂ්‍යයකු ද සමඟය. 

(එම ශිෂ්‍යයා මේ වන විට නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි.) එවකට මා නැවතී සිටි නේවාසිකාගාරයේ දී අප බොහෝ දේ සාකච්ඡා කළෙමු. පත්මසිරි ත්‍රීමාවිතාන සිසුවාගේ සංවේදී බව හා කැපවීම පිළිබඳව ඒ වන විට මනා අවබෝධයක්‌ තිබූ නිසා විශේෂයෙන් ම විශ්වවිද්‍යාල දේශපාලනය සම්බන්ධයෙන් උපදෙසක්‌ දීමට මට අවශ්‍ය විය. විශ්වවිද්‍යාල සිසුන් බහුතරයක්‌ වාමාංශික දේශපාලනයට නැඹුරු වන බවත්, ඒ සියලු දෙනාම විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසුවත් එකී දේශපාලනයේ නිරත වූයේ නම් මේ වන විට මේ රට දේශපාලනික වශයෙන් කියුබාවක්‌ වී අවසන් බවත් මා ඔවුන් දෙදෙනාටම පැහැදිලි කළෙමි. එබැවින් විශ්වවිද්‍යාලය තුළ දී දේශපාලනයට සෘජුව සම්බන්ධ නොවී නිරීක්‌ෂණ මට්‌ටමින් සිට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසු දේශපාලනයේ නිරත විය හැකි යෑයි ම ඔහුහට අවවාද කළෙමි.

පසුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර එයින් පසුව මුල් කාලයේ දී වරින් වර ලිපි එවූ බවත් ඒ සෑම ලිපියටම මා විසින් පිළිතුරු යෑවූ බවත් මතකය. ලිපි හුවමාරුව කෙමෙන් අඩු වූ අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ කාර්ය බහුලත්වය වැඩි වන විට එය සාමාන්‍යයෙන් සිදු වන්නක්‌ නිසා ඒ පිළිබඳව තැකීමක්‌ නොකළෙමි. 

එතැන් සිට කාලය වසර 2-3 ක්‌ ගත වන විට මා පළමු පශ්චාත් උපාධිය සම්පූර්ණ කර, ටියුෂන් පන්ති ද නතර කර, විශ්වවිද්‍යාලයේ ආධුනික සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 88-89 භීෂණ සමය එළඹියේය. එහිදී විශ්වවිද්‍යාල පද්ධතියම අක්‍රීය විය. ඒ කාලය තුළ මාගේ විවාහය සිදු වූ අතර ඒ කටයුතු සඳහා රත්නපුර ප්‍රදේශයට නිතර යැම ඒම ද සිදු විය. එවැනි එක්‌ අවස්‌ථාවක රත්නපුර නගරයේ ඔරලෝසු කණුවට ආසන්නව පිහිටි එවකට ප්‍රසිද්ධව තිබු හෝටලයකට පිවිසියේ සාමාන්‍ය පරිදි ගමන අතරතුර තේ පානය සඳහාය. එහිදී මා කිසිසේත් බලාපොරොත්තු නොවූ පරිදි පත්මසිරි ත්‍රීමාවිතාන සිසුවා මා වෙත පැමිණ වැඳ, කතාවට එළඹිණ. 

"ත්‍රීමාවිතාන ඇයි මෙහේ?"

"සමාවෙන්න සර්...... සර් දීපු එක අවවාදයක්‌ පිළිපදින්න මට බැරි වුණා" ඒක එහෙම වුණේ මේ ප්‍රයිවට්‌ මෙඩිකල් කොලේඡ් එක නිසා. ඒකට විරුද්ධව අපි රට පුරාම ක්‍රියාත්මක වෙනවා. මට ඒ වෙනුවෙන් රත්නපුරයට එන්න වුණා."

"පරිස්‌සම් වෙන්න. ත්‍රීමාවිතාන..... මේ දවස්‌වල වෙන දේවල් ඔයා හොඳටම දන්නව නේ?"

"ඔව් සර්..... ඒත් මේ මෙඩිකල් කොලේඡ් එක ක්‍රියාත්මක වෙන එක නතර කරන්න අපට පුළුවන් දේ කරන්න වෙනවා සර්. ඒ වෙනුවෙන් මට මගේ උපාධිය නැති වුණත් කමක්‌ නැහැ."

"ඒ වුණාට ත්‍රීමාවිතාන ......ඔයාට අමතන වුණාද......"

"මම දන්නව සර් කියන්න යන දේ... නෑ සර් මට මගේ වගකීම අමතක නෑ... මම දොස්‌තර කෙනෙක්‌ වෙලා ගෙදර එනකම් බලා ඉන්න දුප්පත්තු ටිකක්‌ මට ඉන්නවා. මම ඒක අමතක කරල නෑ.... ඒත් සර් පොඩ්ඩක්‌ හිතන්න මේකට නිල භාවයක්‌ ලැබුණොත් ඉදිරි අවුරුදු කිහිපය තුළ මේ රටේ තවත් ප්‍රයිවට්‌ මෙඩිකල් කොලේඡ් අඩුම ගානේ 7-8 ක්‌ වත් පටන් ගනීවි.... එදාට මොකක්‌ ද වෙන්නෙ....... හැමෝටම රජයේ රෝහල්වල පත්වීම් ලැබෙන්නේ නෑ. පුද්ගලිකව ඩිස්‌පෙන්සරි පටන් ගන්න වෙනව, ඒකත් කරන්න පුළුවන් වෙන්නෙ ප්‍රයිවෙට්‌ මෙඩිකල් කොලේඡ් ගිය සල්ලි තියෙන අයට... ඒ ඔක්‌කොමත් හරි, ඔය තත්ත්වය යටතේ අපේ සෞඛ්‍ය සේවයට මොකක්‌ද වෙන්නේ සර්. ඒක නැතිවේච්ච දාට එහෙම නැත්නම් ඒකෙ ගුණාත්මය පිරිහුණු දවසට ජීවත් වීමේ වරම ලැබෙන්නෙ සල්ලි තියෙන අයට විතරක්‌ වේවි.... ඒත් නිදහස්‌ අධ්‍යාපනයත් නිදහස්‌ සෞඛ්‍ය සේවයත් ආරක්‌ෂා වුණොත් මම වගේ අයගෙන් දොස්‌තරල තව ඕන තරම් බිහිවේවි සර්..... ඒ නිසා අවදානම අරගෙන වුණත් අපිට මේ දේ කරන්න වෙනවා..."

"ඒ කොයි හැටි වුණත් ඔයා පරිස්‌සම් වෙන්න ත්‍රීමාවිතාන"

ඔහුගේ විස්‌තර කිරීම හමුවේ මට වෙනත් පිළිතුරක්‌ දිය නොහැකි විය. 

මා එතනින් පිටව ආයේ බරපතල කම්පනයකින් යුක්‌තව හා ඔහුගේ ජීවිත ආරක්‌ෂාව පිළිබඳ බියකින් ද යුක්‌තවය. ඉන් සතියකට පමණ පසුව ඔහුගේ බාල සොයුරා හඬා වැටෙමින් මා වෙත පැමිණ තමන්ගේ අයියා රත්නපුරයේ දී මරා දමා ඇති බව ප්‍රකාශ කළේය. 

පත්මසිරි ත්‍රීමාවිතාන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් වැදුනේ එහි අවදානම නොදැන නොවේ. එබැවින් ඔහු කළේ ජීවිත පූජාවකි. මද්දුම බණ්‌ඩාර වීරයකු ලෙස සලකන්නේ ඔහු නොබියව මරණයට මුහුණ දුන් බැවිනි. ඔහුගේ ජීවිත පූජාවෙන් ජාතික අභිමානය මිස රටට අන් යමක්‌ දිනා දුන්නේදැයි විමසා බැලීම ඉතිහාසඥයනට භාරය. එහෙත් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි වී නිදහස්‌ වෛද්‍ය අධ්‍යාපනය අද වන තෙක්‌ ආරක්‌ෂා වීමට පත්මසිරි ත්‍රීමාවිතානගේ ජීවිත පූජාව සෘජුව බලපෑ බව සත්‍යයකි. එබැවින් ඔහු මද්දුම බණ්‌ඩාර ඉක්‌මවා ගිය වීරයකු නොවන්නේද?

රුහුණ විශ්වවිද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති
මහාචාර්ය එල්.පී. ජයතිස්‌ස

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්