Sunday, February 19, 2017

අබිරහස්‌ පරිත්‍යාග 3



මීට අවුරුදු විස්‌සකට කලින්, මම මේ ප්‍රදේශයෙන් සොයාගත් ආවේණික මකුළු විශේෂයෙන් ලබාගත් ප්‍රොaටීනයකින් ඒඩ්ස්‌ රෝගයට සාර්ථක ප්‍රතිජීවකයක්‌ සොයාගත්තා. ඒ ප්‍රතිජීවකය සායනික මට්‌ටමින් අති සාර්ථක ප්‍රතිඵල පෙන්වූ නිසා, ලොව පුරා ඖෂධ සමාගම් එම ප්‍රතිජීවකය වානිජ මට්‌ටමින් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණා. මෙන්න මේ කාලයේ මම, අවසාන වාතාවට වනය මැද වූ මගේ පරීක්‌ෂණාගාරය බලන්න ආවා. මම ඒ කටයුත්ත කරන අතරතුර දී, පිග්මි මනුෂ්‍යයෙක්‌ හදිසියේ ම එතැනින් දිව ගියා. මම මෝඩයෙක්‌ වගේ ඔහු ලුහුබැඳ ගිහින්, දන්නෙ ම නැතුව වනය මැදට ආවා. ඒත් මට ඔහුව සොයාගන්න බැරි වුණා. ඒ නිසා මම ආපහු හැරිලා යන්න හැදුවා. ඒත් අවාසනාවකට, පොළොවේ තිබුණු බොරු වළකින් මම අර උමඟක්‌ ඇතුළට ඇදීගෙන ගියා. අපි දෙන්නා අද වැටුණු විදිහට ම මම එදා ඇතුළට වැටුණා.

අපිට ඒ හමු වුණේ පිග්මි ගෝත්‍රිකයන් වගයක්‌. හඳුන්වන්නේ කුහුඹු පිග්මි ගෝත්‍රිකයන් කියලයි. උන් මීනී කන ජීවීන්. සාමාන්‍ය මනුෂ්‍යයන් දඩයම් කරගෙන කනවා. උන් ජීවත් වන්නේ කුහුඹුවන් අනුකරණය කරමින්, පොළොව ඇතුළේ සංකීර්ණ ගුහා හාරගෙන."

උමඟ තුළ සිටින විට, තමන් යෝධ කුහුඹු ගුලක සිටින්නාක්‌ මෙන් හැඟීමක්‌ ඇති වූ බව ජොෂුවාට සිහිපත් විය. 

"ඒ ගුහා ඇතුළේ වාතය සංසරණය වන්නේ සාමාන්‍ය කුහුඹු ගුහා තුළ වාතය සංසරණය වන විදියට මයි. උන් අදහන්නේ කුහුඹු වෙස්‌ ගත්ත දෙවියෙක්‌."

ජොෂුවාට යෝධ කුහුඹු ප්‍රතිමාව මතක්‌ විය. 

"ඒ වගේ ම, සාමාන්‍ය කුහුඹු ජනපදවල වගේ, මේ කුහුඹු පිග්මි ගෝත්‍රිකයන්ටත් එක්‌ රැජිනක්‌ හිටියා. අනෙක්‌ සියලු දෙනා වැඩකාරයෝ. ඔයා අර සිහසුනේ දුටුවේ ඇයයි. වෙනසකට තිබුණේ, කුහුඹුවන් අතරේ ප්‍රජනනය කරන්නේ රැජින විතරයි නේ. නමුත් කුහුඹු පිග්මි ගෝත්‍රයේ රැජින ප්‍රජනනයට සහභාගි වුණේ නැහැ. වැඩකාර ගැහැනුන් සහ පුරුෂයන් විතරක්‌, නිසි වයසට පැමිණියා ම ඊට දායක වුණා."

"උන් මිනී කන ගෝත්‍රිකයන් නම්, ඇයි එදා ඔයාව මරාගෙන කෑවේ නැත්තේ?" ජොෂුවා විමසී ය. 

"ඔයාට මතක ද අපි අර බොරු වළවල් තිබුණු ප්‍රදේශයෙන් උමං දෙකකට ඇතුළු වුණා? ඒ ප්‍රදේශයේ බොරු වළවල් රාශියක්‌ තියනවා. පාර වැරදිලා ඔතනට එන සතෙක්‌ නැත්නම් මනුෂ්‍යයෙක්‌, කවදා වත් ආපසු යන්නේ නැහැ. ඔවුන් අනිවාර්යයෙන් ම අර බොරු වළකට වැටෙනවා. ඒ තරමට එතන බොරු වළවල් තියෙනවා. ඒ හැම වළක්‌ ම විවර වෙන්නේ උමං මාර්ගයකටයි. ඒවා මටසිලුටු උමං මාර්ග. වැටුණොත් අනිවාර්යයෙන් ම පහළට ඇදිලා යනවා. නමුත් ඔයා දකින්න ඇති, කුහුඹු පිග්මි ගුල ඇතුළේ වහළේ, ඒ කීවේ අපි වැටුණු පූජාසනයට ඉහළින් වහළේ තිබුණේ විශාල සිදුරු හතරයි. ඒවා උතුර, දකුණ, නැෙගනහිර සහ බටහිර ලෙස ස්‌ථානගත ව පවතිනවා. පොළොව මතුපිටින්, උතුරු දෙසින් ඇති සියලු උමං මාර්ග මැද දී සම්බන්ධ වෙලා උතුරු සිදුරටත්, දකුණින් ඇති ඒවා දකුණු සිදුරටත්, අනෙක්‌ දිශාවන් දෙකේ ඇති ඒවා අදාළ දිශාවන්වල සිදුරු දෙකටත් සම්බන්ධ වෙනවා. ඒ සිදුරු හතර ම විවෘත වෙන්නේ පූජාසනයකටයි. ඒ පූජාසනය වටේ පැය විසි හතරෙ ම, මාරුවෙන් මාරුවට පිග්මි ගෝත්‍රිකයන් රැකවල් ලාගෙන ඉන්නවා. මේ පූජාසනයට වැටෙන ඕනෑ ම අවසනාවන්ත මනුෂ්‍යයෙක්‌ නැත්නම් සත්ත්වයෙක්‌ ඔවුන් වැටුණු ගමන් උල් ආයුධවලින් කොටලා මරනවා. ඒත් මම බේරුණේ මට අහම්බෙන් පිහිටලා තිබුණු වාසනාවකටයි. මගේ ඇස්‌ මොන පාට ද?" ඩේවිඩ් ජොෂුවා දෙස බලමින් ඇසී ය.

"නිල්" ජොෂුවා පිළිතුරු දුනි. 

"අහස මොන පාට ද?"

"නිල්" ජොෂුවා නැවත පිළිතුරු දුනි.

"හොඳයි, මේ කුහුඹු පිග්මි ගෝත්‍රිකයන් විශ්වාස කළා, කවදා හරි දවසක, අහසින් වඩින දෙවියන් ගේ දූතයෙක්‌ අහස්‌ දියයි අහසේ ආලෝකයයි අරගෙන ඇවිත් ඔවුන්ට ගැලවීම ගෙන දෙයි කියලා. ඒ මොකද, ඔවුන්ට ජලය සහ ස්‌වාභාවික ආලෝකයේ හිඟයක්‌ තිබුණා. ඔවුන්ට ජලය ලබාගන්න නිතර නිතර මතුපිටට පැමිණිය යුතු ව තිබුණා. ඔවුන් භූගත ව සිටි නිසා ස්‌වාභාවික ආලෝකය ලැබුණේ නැහැ. මේ අඩුලුqහුඩුකම් ඌනපූරණය කරගන්න ඔවුන් හාස්‌කමක්‌ බලාපොරොත්තු ව සිටියා. ඔවුන් බලාපොරොත්තු වුණු මේ දේව දූතයා, වලාකුළුවලින් නිර්මිත සුදු හමක්‌, අහසේ නිල් පාට හිමි කරගත් නිල් ඇස්‌ සහිත විය යුතු ව තිබුණා. ඔවුන් ගේ ජනප්‍රවාදයට අනුව, මේ දූතයා අහසින් වැඩම කර අදාළ කටයුත්ත ඉටු කරාට පස්‌සේ, විශේෂ විසකුරු සර්පයෙක්‌ ලවා දෂ්ඨ කර, මරලා, පූජාසනය මත තියලා කුහුඹු දෙවියාට නැවත බිලි දෙනවා. ඒ දූතයා ගේ සිරුර කුහුඹු දෙවියෝ එවන කුහුඹු හමුදාවක්‌ විසින් භක්‌ෂණය කරනු ලබා වි කියලා ඔවුන් තරයේ විශ්වාස කළා."

ජොෂුවාට මැස්‌ස මත තිබූ නිසල දේහයත්, ඒ දේහයේ කලව ප්‍රදේශයේ තිබූ තුවාල දෙකත් සිහිපත් විය. ඒ සර්පයා දෂ්ඨ කළ තුවාලය විය යුතු යෑයි ඔහු තේරුම්ගත්තේ ය. ඒ පූජාසනය වටා පිග්මි මිනිසුන් රැස්‌ ව සිටියේ, දේහය භක්‌ෂණය කිරීමට කුහුඹු දෙවියන් කුහුඹු හමුදාවක්‌ එවන තෙක්‌ විය හැකි යෑයි ඔහු වැඩිදුරටත් තේරුම්ගත්තේ ය. ඒත්, ඒ සිරුර තමන් ගේ අනුරුවක්‌ වූ බැවින්, ඔහු භීතියෙන් සලිත විය. 

"පූජාසනයේ හිටියේ කවුද? එයා මම වගේ මයි. ඇයි ඒ? අනෙක එයා ගේ දේහයේ එතකොටත් උණුසුම රැඳී තිබුණා. ඇයි ඒ?" ඔහු විමසී ය. 

"ම්....... ඒක වුණේ මෙහෙමයි. පිග්මි ගෝත්‍රිකයන් බලාපොරොත්තු වුණු දේව දූතයා පැමිණිය යුතු ව තිබුණේ නැෙගනහිර සිදුරෙන්. නමුත් මම වැටිලා තිබුණේ දකුණු සිදුරෙන්· ඒ නිසා ඔවුන් මාව බිලි දුන්නේ නැහැ. ඔවුන් මාව සැලකුවේ දූතයා ගේ පෙරනිමිත්තක්‌ විදියට. ඔවුන් මාව මාස දෙකක්‌ ඒ අඳුරු ගුහාවක සිර කරගෙන මට ගෝත්‍රික භාෂාව ඉගැන්නුවා. ඒ මට, පණිවිඩයක්‌ දෙන්න. ඔවුන් මට දුන්න පණිවිඩය තමයි, මම දූතයෙක්‌ නො වුණට, මට දා ව උපදින පළමු පුතාව දූතයෙක්‌ ලෙස ඔවුන්ට කැප කළ යුතු බව."

"එහෙනම් අර හිsටියේ මගේ වැඩිමල් සහෝදරයෙක්‌?" ජොෂුවා විමසී ය.

"නැහැ, පොඩ්ඩක්‌ ඉන්න. මාස දෙකකින් පස්‌සේ ඔවුන් මාව නිදහස්‌ කළේ, අර දරුණු ඉල්ලීමත් සමඟයි. මම ගෙදර ගියේ පුදුම ව්‍යාකූලතාවකින්. මම මේ ගැන දැනුවත් කළේ මගේ ඒ කාලේ පෙම්වතිය, ඒ කීවේ ඔයා ගෙ අම්මයි මගෙ පවුලේ උදවියයි විතරයි. අපි හැමෝ ම කම්පා වුණා. ඒ වෙන කොට මාව නොබෙල් ත්‍යාගලාභියෙක්‌ විදිහට නිර්දේශ වෙලත් තිබුණා. මම ගොඩක්‌ ප්‍රසිද්ධ වෙලයි හිටියේ. ඒ නිසා, මේ ඉල්ලීම ඉටු නො කළොත් වනාන්තරයට එන සියලු සුදු මිනිසුන් කෲර ලෙස ඝාතනය කරන බවට පිග්මීන් මට තර්ජනය කර තිබුණා. මම ඉල්ලීම ඉටු කළොත්, කට වත් හානි නො කරන බවට ඔවුන් පොරොන්දු වුණා. මගේ ප්‍රසිද්ධිය නිසාත් අර මකුළු විශේෂය ලැබුණේ ඇමසෝන් වනයේ මධ්‍යයෙන් විතරක්‌ නිසාත් එeතනට මිනිසුන් යන එක වළක්‌වන්න බැරි දෙයක්‌ බව මම තේරුම්ගත්තා. ඉතින් ඔයා ගේ අම්මත්, මාත්, ඉතා අකමැත්තෙන් වුණත්, අපේ පළමු දරුවා දන් දෙන්න තීරණය කළා. 


නිමාෂි ප්‍රනාන්දු

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්