Monday, February 20, 2017

ගෙදරක දොර බස්නාහිරට මුහුණලා තියෙන්න හොඳ නෑ කියන්නේ බොරු


නිවාස තැනීමේ දී පවතින බොහෝ මිථ්‍යා මත  අන් කවරදාකටත් වඩා වැඩියෙන් භාවිත කරන්නට මිනිසුන්  අද පෙළඹී තිබේ. ඒ නිසාම බොහෝ දෙනා නිවාසය තැනීමට යන වියදමට වඩා වැඩි වියදමක් මිථ්‍යා මතවලට වැය කරනු ද දැකිය හැකිය. රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් පවසන්නේ වාස්තු විද්‍යාවට දේව, භූත සංකල්ප ඈඳා ගැනීම නිසා මෙම ගැටලු සියල්ල උද්ගත වී ඇති බවකි. මේ, උන්වහන්සේ ඒ පිළිබඳව විග්‍රහ කරන අයුරුය.

වාස්තු විද්‍යාව යනු ගෘහ නිර්මාණ ශිල්පයයි. සත්වයාට වාසයට සුදුසු ස්ථානය වාස්තු ලෙස සංස්කෘත සාහිත්‍යයේ දී හඳුන්වයි. “වසන්ත්‍යතේ‍ර්ති වාස්තු”, එනම් වාසය කරන්නා හෙවත් සත්වයාගේ වාසයට සුදුසු ස්ථානය වාස්තු යැයි එහි දක්වා ඇත. එය ගෘහ, නගර, ග්‍රාම ආදී වශයෙන් වාසය කරන ස්ථානය ලෙස හැඳින්වේ.
වාස්තු විද්‍යාව කවර කාලයක, කවුරුන් විසින් කොහේදී නිෂ්පාදනය කරන ලද්දක් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. කෙසේ වෙතත් ලොව සත්වයන් තමන්ට රැකවරණයක් ඇති ස්ථානයක වාසස්ථානයක් සාදා ගෙන වාසය කරන්නට පටන් ගත් බව ඉතිහාසයේ සිට ම අපට දැකිය හැකි ය.
ඒ ඒ වකවානු තුළ එකී ගෘහයන් සකස් කිරීමේ දී යම් සැලැස්මක් භාවිතයට ගත් බවක් ද පෙනෙන්නට ඇත. තිරිසන් සත්වයෙකුට, කුරුල්ලෙකුට පවා තම වාසස්ථානය ඉදි කරගන්නට තමන්ට ආවේණික සැලැස්මක් පවතී. අනෙක් අතට මිනිසාට සිය යුග ජීවිතය ගත කිරීම සඳහා ගෘහයක අවශ්‍යතාව මතු වූ බව “අග්ගඤ්ඤ” සූත්‍රයේ ද සඳහන් වේ.
වාස්තු විද්‍යාව ලෙස හැඳින් වූයේ මේ ආකාරයට ඒ ඒ වකවානු තුළ ගෘහයන් සකස් කිරීමේ දී භාවිත කරන ලද සැලැස්මය. තවත් ආකාරයකට කියන්නේ නම්, ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යාව ලෙස හැඳින්විය හැකි ය.
අතීත භාරතීය මූලාශ්‍රයන්ට අනුව පුරාණ ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ග්‍රන්ථ රචනා කළ පුද්ගලයන්ගේ නාම ‍ලේඛනයක් පවා “අග්නි පුරාණය” නම් කෘතියේ සඳහන් කර ඇත. “වාසුදේව, විශ්වකර්ම, නාරද, බ්‍රහ්ම, බෘගු, කුමාර, ආදීන් ඒ අතර වේ.
ශ්‍රී ලංකාව තුළ ද පරාක්‍රමබාහු රජ දවස විසූ අනෝමදස්සි සංඝරාජ හිමියන් විසින් ලියන ලද “ෙදෙවඥ කාමෙනු” ග්‍රන්ථයේ ද වාස්තු විද්‍යාව පිළිබඳව කරුණු සඳහන් වේ. ඊට අමතරව වාස්තු විද්‍යාව පිළිබඳව ලියැවුණු “හෝරාභරණය, නවපටල සංග්‍රහය, මයිමතය, ආදී ග්‍රන්ථ ද, පුස්කොළ වට්ටෝරු රැසක් ද සොයා ගත හැකිය.
කෙසේ නමුත්, ඉන්දී ප්‍රාග් බෞද්ධ යුගයේ පැවැති භාරතීය සමාජය තුළ ලියැවුණු මෙන්ම නිෂ්පාදනය වූ සියල්ලට බමුණන්ගේ පේටන්ට් බලපත්‍රයක් හෙවත් අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය අංගයක් බවට පත්වී තිබිණි. එමනිසා එකල පැවැති වාස්තු විද්‍යාවට ද ඔවුහු සීමා පැනවූහ. ඒ අනුව එකල පැවැති ගෘහ නිර්මාණ ඉංජිනේරු තාක්ෂණය හසුරුවන ලද්දේ, ඔවුන්ට අවශ්‍ය පරිදි ය. වාස්තු විද්‍යාව තුළට දේව සංකල්පයන් ආරූඪ කරමින් විවිධ මිථ්‍යා අදහස් ඇතුළු කරන ලද්දේ බමුණන්ගේ එම අවශ්‍යතා සම්පූර්ණ කරගනු පිණිස ය.
ඒ අනුව නිවාස තැනීමේ දී බහිරව පූජා පැවැත්විය යුතු බවත්, අනිවාර්යයෙන් ම පාද බෙදිය යුතු බවත්, මර්මස්ථාන, ගිනිකතිර ආදී දේ පිළිබඳවත්,  මිථ්‍යා මත වාස්තු විද්‍යාව තුළ රජ කරන්නට පටන් ගෙන ඇත.
නිවසක ප්‍රධාන දොරටුව බස්නාහිර දෙසට මුහුණ ලා පැවතීම නුසුදුසු බව එහි කියැවෙන එක් මිථ්‍යා මතයකි. නැගෙනහිර යනු හිරු නැගෙන දිශාවයි. ආලෝකය ලැබෙන දිශාව යි. එහෙත් ගෘහ නිර්මාණ ශිල්පයේ දී දොරටුව තබන දිශාව තීරණය කළ යුතු වන්නේ, අදාළ නිවස ඉදිකෙරෙන පරිසරය අනුවය. දිශාව ගැන සිතා, ප්‍රධාන පාරට පිටුපස හරවා නිවසකට ඇතුළු වන ප්‍රධාන දොරටුව ඉදිකිරීම කිසිසේත් සුදුසු නොවන අතර එය ප්‍රායෝගිකද නොවේ.
අතීතයේ ප්‍රධාන උළුවස්සට ඉහළින් යටලීය නොතබන ලද්දේ, දේව හෝ භූත සංකල්පයක් නිසා නොවේ. අතීත නිවාසවලට අද තරම් ශක්තිමත් අමුද්‍රව්‍ය භාවිත නොවුණ බැවින් ශක්තිමත් භාවය පිළිබඳ ගැටලු ඇති විය. එකී අනතුරුදායක බව මගහැරීම සඳහා ප්‍රධාන උළුවස්සට ඉහළින් යටලීයක් නොතබන්නට එකල ගෘහ නිර්මාණ ශිල්පීහු වග බලා ගත්හ.
එහෙත් එම කාරණය අදට වලංගු නොවේ. අද වන විට එහි ශක්තිමත් බව රැක ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන්නට හැකියාව ලැබිම ඊට හේතුවයි.
පාද බෙදීම යන්න අද වන විට මිථ්‍යා මතයක් හා බැඳී පැවතුණ ද එය අතීතයේ සිටම වාස්තු විද්‍යාව තුළ පැවැති කාරණයකි. එහෙත් එකල එය පැවතුණේ අද පවතින අර්ථයෙන් නොවේ. ප්‍රේත පාද, දේව පාද, මනුෂ්‍ය පාද, හා බ්‍රහ්ම පාද ලෙස එකල වෙන් කෙරුණේ අදාළ ඉඩමේ භූමි චක්‍රයයි. එම වචන වාස්තු විද්‍යාව තුළ භාවිත වූ ශිල්පීය වචන මිස දේව, භූත, ප්‍රේත යන සංකල්ප අනුව ඇති කර ගත් වචන නොවන බව අප තේරුම් ගත යුතුය.
නිවස ඉදිකිරීමට සුදුසු, එනම් හොඳින් වාතාශ්‍රය ආදිය ලැබෙන ස්ථානය මනුෂ්‍ය පාද ලෙස වෙන් කර ඇත. තමන් ඉදිකරන නිවසින් අසල්වැසි නිවසකට හානියක් නොවිය යුතුය. එමනිසා නිවාසවල වහල තැනීම, භූමියේ ජලය බැස යාම, ආදී කාරණාවලදී ඒ පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්ය වේ. එලෙස අන් නිවසක් හා ඉදිකරන නිවස අතර පැවතිය යුතු පරතරය දැක්වෙන කොටස හඳුන්වන ලද්දේ, ප්‍රේත පාදය ලෙසිනි. ජලය බැස යාම සඳහා කාණු ආදිය ඉදි කරන ලද්දේ එම කොටසේ ය. එම නිසා ප්‍රේත පාදය භූතයන්ට හෝ වෙනත් මිථ්‍යා සංකල්පයකට වෙන් කර ඇතැයි සිතීම වැරදි සහගත ය.
එමෙන් ම නිවාස තැනීමට සුදුසු වේලාවන්, සුබ නැකැත්, කෝණ මාස මග හැරීම් ආදිය ද මිථ්‍යා මත කර පින්නා ගත් අයගේ අදහස් පමණි. මාසයක් තුළ කෝණ දැකිය නොහැකිය. එක් මාසයක දින අඩු වූ පමණින් ඒ මාසය අසුබ මාසයක් යැයි පිළිගන්නට හැකි කිසිදු සාක්ෂියක් නැත. අඩු දින සහිත මාසයේ දරු උපත් සිදුවන්නේ නම්, කෙනෙකු මිය යාමට හැකි නම්, රෝගී වන්නට මාස බලපාන්නේ නැතිනම්, නිවාස තැනීමට හෝ වෙනත් කටයුතු සඳහා පමණක් ඒ මාසය අසුබ වන්නේ කෙසේ ද?
මේ මිථ්‍යා මත පසුපස යාම තුළින් වෙනත් ප්‍රායෝගික ගැටලු රැසකට අපට මුහුණ දෙන්නට සිදුවන බව අප මතක තබා ගත යුතු ය. උදාහරණයක් ලෙස නිවස ඉදිකරන්නට කෝණ මාසය පසුවන තෙක් බලා සිට, සුබ නැකැත් උදාවන තුරු සිටියහොත්, කෝණ මාසය පසුවෙද්දී අධික වර්ෂා කාලයක් උදාවන්නට පුළුවන. සුබ යැයි සිතා අධික වැසි වසින කාලයක නිවසක් ඉදිකරන්නට යෑමෙන් කාලයත්, ධනයත්, තමන් බලා‍පොරොත්තු වූවාට වඩා දෙගුණ තෙගුණ වී නැති වී යන්නට පුළුවන.
එමනිසා මෙම කාරණා දෙස නුවණින් කල්පනා කරන්නට බෞද්ධ දර්ශනය අනුව අප සමත් විය යුතු ය. බෞද්ධයන් ලෙස නිවාසයක් තැනීමේදී අවශ්‍ය නම්, පිරිත් සජ්ඣායනා කොට අදාළ කර්තව්‍ය ආරම්භ කළ හැකිය. එසේ නොමැතිව ඵලක් නොවන මිත්‍යා මත පසුපස හඹා යාමෙන් සිදුවන්නේ තම මුදලත්, කාලයත්, නිකරුණේ වැය වීම පමණක් බව අප වටහා ගත යුතුය.

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්