Saturday, February 11, 2017

යුද්දෙට යන්න කලින් දුටුගැමුණු රජු භාරහාරවූ මහියංගනයේ නාගදීපය

      

 

 

මහියංගනය  මැතිවරණ කොට්ඨාසයට අයත්  රිදීමාලියද්ද ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි.

 

මෙහි ඇති ඉතිහාස කතාව කාවන්තිස්ස හා දුටුගැමුණු රජ දවස කරා දිවයන බව පැවසෙන නමුදු පුරාවිද්‍යාත්මක කැණීමක් මේ දක්වා සිදුකර නැති බැවින් එම සාඩම්බර ඉතිහාසයේ රස මුසුතැන්  තවමත් වැළලී ඇත්තා සේය.

කැණීම් පටන් ගත්ත ද ඊට එරෙහිව විවිධ අද්භූත බලවේගයන් ක‍්‍රියාත්මක වන බව ද අපට අසන්නට ලැබිණ.


නාගදීප වැවෙන් වට වූ මෙම පිංබිම පිහිටි අක්කර 4ක් පමණ වූ දුපත දුරාතීතයේ නාග ගෝත‍්‍රික ජනයා විසූ පෙදෙසක් බැවින් ‘නාගදීපය’ නම් වූ බව ජනප‍්‍රවාදයේ එයි. තවත් ජනප‍්‍රවාදයකට අනුව නාගයන් බහුලව සිිටි මෙම අද්භූත පරිසරයේ නාගයන්ගෙන් විහිදුණු ආලෝකය නිසා ‘නාගදීප’ නම ලැබී තිබේ.

අදටත් මෙහි දැවැන්ත හුඹස් රාශියක් දැකිය හැකිය. මෙහි වටිනා දුරාතිීතයක්  ඇති බව අනාවරණය කරන සාක්කි ඇස් පනාපිටම ඉතිරි වී තිබේ.
දුටුගැමුණු රජතුමා සතුරු සේනා සමග යුද වැදීමට යාම සඳහා මෙම ප‍්‍රදේශයේ සේනා රැුස්කර සටන් පුහුණුව ලබාදුන් බවත්, යුද්ධය සඳහා පිටත්ව යාමට පෙර මෙම ස්ථානයේදී බාර හාර වූ බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.  

මෙහි ගරාවාස වූ චෛත්‍යයන් දෙකකි. එකක් තරමක් කුඩා වුවද අනෙක් චෛත්‍යය අතිවිශාල එකකි. කුඩා චෛත්‍ය ඉදිරියේ වීදුරු කාමරයක තැන්පත් කළ නාග රුපයකි. එය පූජා කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.


රජ දවසින් පසුව මේ පුදබිම සොයා රටේ පාලකයා වූ හිටපු ජනාධිපතිතුමා පැමිණි ගමන කතා බහට ලක්වූ සුවිශේෂි එකක් විය.
මෙම විහාරස්ථානයේ භාරකාර බේරුවල ධම්මරතන හිමියෝ එය සිහිපත් කරන්නේ මෙසේය.

 ”ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා මුල්වතාවට මේ  පන්සලට ආව දවසේ එකපාරටම  එතුමා අඳුනාගන්නත් මට බැරි වුණා. එදා උදේ 7.00ට විතර මම මිදුල අමදිමින් සිටියා.” ”ඒ වෙලාවේ කට්ටියක් ආවා. මම හිතුවෙ වන්දනාවේ ආව කට්ටියක් කියලා. එක්කෙනෙක් ඇවිත් කිව්වා මාව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. මම කිව්වා ආවාසගෙයට ගිහින් වාඩිවෙන්න කියලා. මම අත සෝදාගෙන එහෙම ගිහින් ඔවුන් මුණ ගැහුණා.  සාමාන්‍ය ඇඳුමකින් සැරසී එතැන හිටිය උස මහත පුද්ගලයා මට වැන්දා. ඒ වෙලාවේ මට නිකමට වගේ හිතුනා මේ ජනාධිපතිතුමා නේද? කියලා.”
‘ඔබතුමා ජනාධිපතිතුමා නේද’යි මං ඇහුවා. එවිට ජනාධිපතිතුමා හිනාවුණා.

එතුමාට කෙනෙක් කියලා තියෙනවා මහියංගණයේ නාගදීපය කියලා පන්සලක් තියෙනවා, එහාට භාරයක් වුණා නම් උතුරු නැගෙනහිර යුද්ධය ජයගන්න  පුළුවන් වෙයි කියලා.


ඒක ගුප්ත බලයකින් කිව්වද? හීනෙන් කිව්වද? නැතිනම් මේවා පිළිබඳව දන්න කෙනෙක් කිව්වද කියල මම දන්නේ නැහැ. එතුමා මෙහාට එන්න පාර දන්නේ නැහැනේ. ඉතින් ඌව පළාත් සභා ඇමති අනුර විදානගමගේ මහත්තයත් එක්ක එකතු වෙලා තමයි එතුමා මුලින්ම මෙහාට ආවේ. මට මතක විදිහට ඒ 2007.11.08 වෙනිදා. එතුමා ඇවිත් චෛත්‍ය වටේ ගිහින් කිරි කළ 7ක් වත්කරලා භාරයක් වුණා.

එදා ජනාධිපතිතුමාට මම කිව්වා ගමේ පාර හැදුවා. ඒත් පාලම නැහැ කියලා. ඒ කාලේ වැස්ස ආවා. ඒ නිසා පාලම හදාගන්න බැරි වුණා. මම නිමල් ඇමතිතුමා එක්කන් ඇවිල්ලාම පෙන්නුවා මෙතෙන්ට බොක්කු දාලා හරියන්නේ නැහැ. පාලමක්ම  ඕනෑ කියලා. ඊට පස්සේ විමධ්‍යගත මුදල් අනුමත කරලා හදන්නම් කියලා ගියා. ඒ ගිහිල්ලා මාස දෙකකට තුනකට පස්සේ තමයි ජනාධිපතිතුමා ආවේ.

ඊට පස්සේ ජනාධිපතිතුමා මෙතන ඉඳන් ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාට කිව්වා කෝල් කරලා, මම නාගදීපේ ඉන්නේ කියලා. මේ උදේ පාන්දර කොහොමද නාගදීපේ ගියේ කියලා එයා ඇහුවා. ජනාධිපතිතුමා කිව්වා, නැහැ. යාපනේ නාගදීපේ නෙවෙයි මහියංගනේ තියෙනව නාගදීපයක් එහේ ඉන්නේ කියලා. මේ ගමට පාර හදලා තියෙනවා, පාලමක් නැහැ කියලා හාමුදුරුවෝ කියනවා කියලත් එතුමා කිව්වා.


 ඊට පස්සේ ඇමතිතුමා මහාමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම්දීලා මහියංගනෙන් ටී ඕ මහත්වරු ආවා. දහවල් 12 වෙනකොට පන්සලට ඇවිල්ලා කොහේද හාමුදුරුවනේ පාලමක් දාන්න තියෙන්නේ මාර්ග ඇමතිතුමා අපිට  ඕඩරයක් දුන්නා කිව්වා. ඊට පස්සේ මම ඒගොල්ලන් එක්කරගෙන ගිහින් පාලම පෙන්නුවා. ඒ වෙලාවෙම ලනු ගහලා මැනලා මාස දෙකක් ඇතුළත පාලමත් හදලා දුන්නා.

එතකොට පන්සලට තිබුණේ සෝලා (සුර්යකෝෂ) විදුලිය. පන්සලටත් ගමටත් විදුලිය ලබාදෙන්න කියලත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.


යුද්ධය ජයගත්තාට පස්සේ බාරයක් ඔප්පු කරන්න තියෙනවා කියලා අපිට කිව්වා චෛත්‍යයේ ඉඳලා පියවර 21ක් මැනලා එතන කුටියක් හදන්න කියලා. කුටිය හැදුවා හැබැයි,  ඒක විනිවිද පේන එකක් නොවෙයි. කුළුනක් හදලා උඩින් වහන්න පුළුවන් විදිහට හදපු ඒ කුළුණේ ජනාධිපති මහින්ද මහත්තයා ඇවිත් නාග රූපයක්   තැන්පත් කරලා උඩින් වැහුවා.

ඊට පස්සේ ඒක බලන්න ආපු උපදේශකයා, ජනාධිපතිතුමාට දැනුම් දීමක් කරලා තියෙනවා කියාපු විදිහට නෙවෙයි මෙතන හදලා තියෙන්නේ මේක ආයෙ වෙනස් කරන්න  ඕනැ කියලා.

චෛත්‍යයේ ඉඳලා නැගෙනහිර පැත්තට තමයි පියවර 21ක් මැනලා එතැන ඉදිකරන කුටියේ මූණ පේන්න විවෘතව තියන්න  ඕනැ කියලා ආයේ ජනාධිපතිතුමාගෙන් අවසර අරගෙන මාස දෙක තුනකින් නැගෙනහිර පැත්තට වෙන්න වීදුරු කුටියක් හැදුවා.


ඊට පස්සේ අලූත් කුටියේ නාගරූපය තැන්පත් කරන එකයි ගමට විදුලිය දෙන එකයි. එක දවසේ සිදුවුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අතින් මේ නාග රූපය නැවත තැන්පත් කරලා ගියා.  

මේ නාග රූපය රිදියෙන් හදලා රත්තරං ආලේප කරලා තියෙන්නේ. මේක අඩි එකහාමරක් විතර උසයි.”පැවසූ ධම්මරතන හිමියෝ මා සමග ගොස් එම නාගරූපයද පෙන්වමින් තවත් විස්තර පැවසූහ.

මෙතැන තියෙන්නේ පොඩි චෛත්‍යය. මේක දුටුගැමුණු රජ්ජුරුවෝ හැදුවා කියල තමයි කියන්නේ. මෙහි ධාතු ගර්භය හා ඊට ඉහළ කොටස් නැහැ. එසේ නොමැති වීමෙන් එම කොටස්, නිර්මාණය නොකළේද නැතිනම් පසුකාලයක විනාශවී ඇත්දැයි කිව නොහැකියි.

චෛත්‍යක කොටස් යැයි අනුමාන කළහැකි එක සමාන චතුරස‍්‍රාකාර කුඩා කුහර කැපූ ගල් පුවරුවක් හා කුඩයක්වන් ආවරණයක් සහිත  ගල් ආවරණයක් චෛත්‍ය අසල බිම වැටී තිබෙන අයුරු දුටුවෙමි. එවා නිධන් වස්තු තැන්පත් කර තිබූ ඒවා යැයි කියති.

එ දවස්වල චෛත්‍යයක කොතක් තිබිල නැහැ. ඡත‍්‍රය තමයි තිබුණු බව කියන්නේ. එම කොටස් මෙසේ ඉතිරි වී ඇති බව හාමුදුරුවෝ් විශ්වාස කරති.
ධම්මරතන හාමුදුරුවෝ ඊළඟට අපේ අවධානය යොමු කළේ මෙම චෛත්‍යයට ඉහළින් පිහිටි අතිවිශාල චෛත්‍යය වෙතය. එය ඈතට දිස්වන්නේ මහා පස් කන්දක් ලෙසය.  එම ස්ථානයේ බුදුමැදුරකි.


”ඒක හදලා තියෙන්නේ විශාල චෛත්‍යයේ නටබුන් උඩ කියලයි මං හිතන්නේ. විහාරගොඩ නමින්  හැඳින්වෙන  කන්දට නැග්ගම අද අපිට පේන්නේ එම චෛත්‍යයේ ඉහළ කොටස විතරයි. ඊට පහළ ඔක්කොම පස් කන්දක් වගේ වෙලා” යැයිද පැවසූහ.

අපි හාමුදුරුවන් සමග ගල්පඩි නගිමින් බුදුමැදුර පසුකර තවත් ඉහළට ගියෙමු.

එහි  විශාල වහල කොටසේ නටුබුන් දක්නට ලැබිණි. ඒ විහාරකන්ද පාමුල රජ දවස ඉදිකර තිබූ විහාරගෙයි නටබුන්ය.

ආර්. පේ‍්‍රමදාස මහතා ජනාධිපති කාලයේ 1989 වසරේ මහියංගනය ගම්උදාව කි‍්‍රයාත්මක විය. ඊට සමගාමීව මෙම විහාරස්ථානයද සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ.

එදවස නාගදීප වැවෙන් වටවූ පාරක්වත් නොමැතිව වල් වැදී තිබූ මෙම පුදබිමට පුරාවිද්‍යා කොමසාරිස්් රෝලන්ඞ් සිල්වා මහතා පැමිණ ඇත්තේ ඔරුවකිනි.
පුරා විද්‍යාත්මක කැණීම් සිදුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පැරැුණි සංඝාවාසයේ නටබුන් කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබේ.

එහි දොරටුවේ තිබූ රූප රහිත ස`දකඩපහණ හා ගල් අත්තිවාරමක කොටස් මෙහිදී අධීක්ෂණයට ලක්ව ඇති අතර, ඉපැරැුණි විහාරගෙයි මතම පසුව සංඝාවාසය ඉදිකර ඇති බවට කරුණු හෙළි කරගෙන ඇති බව හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (ඌව) ඞී.ඞී. විජේපාල මහතා මීට පෙර මා දැනුවත් කර තිබූ අයුරු මට සිහිවිය.

ආචාර්ය රෝනල්ඞ් සිල්වා මහතා පුරාවිද්‍යා කොමසාරිස්ව සිටියදී මුල්වරට මෙය අනාවරණය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.  

මෙහි ඇති බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපිය කි‍්‍ර.ව. 9-10 අතර කාලයට අයත් යැයි කිවහැ
කි  බවද හෙතෙම පැවසීය. රාජ්‍ය නිලධාරි සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප‍්‍රදානය කළ වරප‍්‍රසාද පිළිබ`දව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.
දැනට ඇති සංඝාවාසය වටා ඇති ශෛලමය නටබුන් ඉපැරැුණි බුදුගෙයි සලකුණු පෙන්නුම් කරඇති බවත් ඉපැරැුණි විහාරගෙය සංඝාවාසයට යටවී ඇති බවට සාක්ෂි ලැබී ඇති බවත් ඔහු පැවසූ අයුරු මට සිහිපත් විය.  

සියළු පහසුකම් ද සහිතව භික්ෂුන් වහන්සේලා දහ දොළොස්  නමකට වුවද සුව පහසු ලෙසින් වාසය කළහැකි අභිනව ආවාස ගෙය සදහා රුපියල්  එක්කෝටි තිස් දෙලක්‍ෂයක් ඇස්තමේන්තු කර තිබුණත් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් ආත්මා ඞී. ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙය රුපියල්් ලක්‍ෂ පනහක (ලක්ෂ 50) පිරිවැයෙන් ඉදිකළ බවද දැනගන්නට ලැබුණි.
නොබෝදා පැවැති ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී හිටපු ජනාධිපතිතුමා හදිසියේම පැමිණ මෙම සංඝාවාසය විවෘත කර  පූජා කර තිබේ. මෙතරම් සුවිසල් සංඝාවාසයේ එක් හිමිනමක් පමණක් වෙසෙන්නේ කෙසේදැයි විමසූ විට අපට දැනගන්නට ලැබුණේ අද්භූත සිදුවීම් මාලාවකි.

මේ පන්සලේ මම හිටියට වෙන කාටවත් ඉන්න බැහැ මහත්තයෝ, හාමුරුවෝ පවසද්දී උන්වහන්සේ සමග සිටි කැටගොඩ රත්නායක මුදියන්සේලාගේ සිරිවර්ධන (67) ”අවසරයි හාමුදුරුවනේ” කියමින්  කතා කරන්නට පටන් ගත්තේය.

මේ හාමුදුරුවෝ හිටියට වෙනත් හාමුදුරුවන්ට මෙහේ ඉන්න බැහැ මහත්තයෝ. පසුගිය කාලයේ හාමුදුරුවරු ගණනාවක්ම ආවා ඒත් කාටවත් ඉන්න බැරි වුණා.

අද්භූත බලවේග ඒ හාමුදුරුවරු බය කරලා පන්නා ගන්නවා. ඒ හාමුදුරුවරු කිව්වේ ?ට නින්දේ ඉන්නකොට බෙල්ල මිරිකන්න එනවා කියලා. මෙහෙන් වහාම පිටවෙන්න කියලා බය කරනවලූ.

කොහොම නමුත් මේ හාමුදුරුවෝ නම් අවුරුදු ගණනක් බය නැතිව තනියම ඉන්නවා. නිධන් හොරු ආවත් ඒවාට ඉඩ නැහැ, හැම දෙනාම ගියේ පැරදිලා. හැම පැත්තෙන්්ම නාගයෝ මතු වෙනවාලූ.

”ඔබ වහන්සේටත් නිධන් හොරුන්ගෙන් කරදර සිද්ධ වුණා නේද” යි සිරිවර්ධන විමසද්දී උන්වහන්සේ හිස සැලූ නමුත් ඒ පිළිබ`ද වැඩි විස්තර කිව්වේ නැත.
කෙසේ නමුත් උන්වහන්සේ මෙසේ පැවසූහ.

”මම ඉපදිලා තියෙන්නේ රාක්ෂ ගණයෙන්. ඒ නිසා මම අද්භූත දේවල් වලින් බය වෙන්නේ නැහැ. හැබැයි පන්සලට ආව සමහරුන්ට ගූප්ත ආකර්ශනය තියෙනවානේ. ඒගොල්ලෝ ආවම එයාලගේ ශරීරයට දැනෙනවා. ඒ දැනුනායින් පස්සේ එයාලට වෙවුලූම් ගතිය ටිකක් හැදෙනවා. ඒගොල්ලෝ කියනවා හමුදුරුවනේ මෙතන බලවේග තියෙනවා බලන්න මගේ රෝම කූප කෙළින් වුණා කියලා.  සමහරු ආව ගමන්ම කියනවා ලොකු බලවේග තියෙන තැනක් මේක කියලා. පසුගිය කාලයෙත් කරදරකාරයෝ ආවා. ඒ ආවට එයාලට මොකක්වත් ගන්න බැහැ.”   

”හැබැයි මම දේවාලයකින් බැලූවා එතකොට කිව්වා පසුගිය කාලේ යන්ත‍්‍ර මන්ත‍්‍රකාරයෝ ඒ නාග බන්ධනය කළාලූ. ඒ නාගබන්ධනය කැපුවම නාගයෝ ආයෙත් එනවා කියලා කිව්වා.”

”මම හැමදාම හැන්දැවේ 6.30 ට ගිලන් පස පූජා කරනවා. සමහර දවස්වලට ? වෙනවා. සමහර දවස්වලට කවුරුහරි ඇවිල්ලා කථාකර කර හිටියත් එයාලා ගියාම මම ඒ ගිලන්පස පූජාව අනිවාර්යෙන්ම තියෙනවා. ? වුණත් පහන් පත්තු කරලා තියෙනවා. එක දවසක් මම පහන් පත්තු කරලා දේවාලේ තියෙන සූනියම් දෙයියන්ගේ රූප දෙක ළඟට පහන් පත්තු කරන්න යනකොට සුදුපාට නාගයා යනවා මම දැක්කා. තනිකර සුදු පාටයි අඩි 4ක් විතර දිගයි.”
”කොහොම නමුත් මෙහි කැණීම් කරන්න හැමදාමත් බාධා එනවා. එකපාරක් ඩෝසර් කරන්න යනකොට ඩෝසරයක් ගිනි අරන් තියෙනවා.”

”1968 දී නාගදීපය කියන ගම අයින් කරලා කැප්ටන් සෙනෙවිරත්න මහත්තයා තමයි මේ නාගදීප ව්‍යාපාරය ආරම්භ කළේ. එතකොට මෙහි වැඩවාසය කරලා තියෙන්නේ කොටගම සුමංගල හාමුදුරුවෝ. මේ කියන ව්‍යාපාරය හැදුවට පස්සේ මේ පන්සල් භූමිය සම්පූර්ණයෙන්ම යටවෙනවා, අපි අංග සම්පූර්ණ පන්සලක් හදලා තිස්සපුර කියන ප‍්‍රදේශයේ පදිංචි කරනවා කියලා ඒ ඉංජිනේරුවරු කියලා තියෙනවා හාමුදුරුවන්ට. ඒත් එහෙම වුණේ නෑනේ. හාමුදුරුවොත් ඉතින් තිස්සපුර ඉඳලා ඇවිත් සැරෙන් සැරේ මේ වැඩ කටයුතු දිහා බලාගෙන ඉඳලා තියෙනවා.”

”යටවෙලා තියෙන විහාර ගේ මතු කර ගත්තොත් බොහෝ ඉතිහාස කරුණු සෙල්ලිපි මතුවෙන්න පුළුවන්.  හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.”

මේ විහාරස්ථානයේ වාර්ෂික පුණ්‍යෝත්සවය දින 7ක් මුළුල්ලේ පැවැති බවත් එක් දිනකට එක් ගමකින් පෙරහැරක් බැගින් පෙරහැර 7ක් විහාරස්ථානයට පැමිණ පුද පූජා පැවැත්වූ බවත් පැරැුණි අය කියති. එහෙත් පසුව දීර්ඝ කාලයක් තිස්සේ ස්ථිර භාරකර හිමිනමක් නැතිවීමත් සමග ඒ සියල්ල නතර වී තිබේ.
එහෙත් භාරහාර වීමට හා ඒවා ඔප්පු කිරීමට නන්දෙසින් පැමිණෙන බැතිමතුන් දැකිය හැකිය. එසේ විශාල පිරිසක් පැමිණෙන බවත් ඒ අතර ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයින්ද සිටින බවත් බේරුවල ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ පැවසූ මේ  අදහස ද අප මෙම විශේෂාංගයට එක් කළේ එය විවාදාත්මක කරුණක් වියහැකි යැයි සිතූ බැවිනි.

”මහත්තයෝ සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාවෙත් තියෙන්නේ මහියංගනං නාගදීපං කියලා. බුදුහාමුදුරුවෝ වැඩිය නාගදීපය කියලා කියන්නේ මේ ස්ථානයලූ. යාපනයේ තියෙන ස්ථානයට නෙවෙයි. මහියංගනයේ නාග ගෝත‍්‍රිකයන් හිිටපු බවට නාග වනය හොඳින්ම සාක්කි දරනවා. බුදුන් වහන්සේ පළමු වතාවට මහියංගණයට වැඩම කරලා දෙවන වරට මෙම ස්ථානයට වැඩියා කියලා තමයි කියන්නේ. මෙහෙම ජනප‍්‍රවාදයේත් තියනවා. රේණුකාණේ චන්දවිමල හාමුදුරුවෝත් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝත්, ඒ බව සඳහන් කරලා තියෙන බව දැනගන්න තියෙනවා.”

”මහියංගණයේ ඉඳලා මෙම ස්ථානයට ඒ තරම් දුරක් නෑ. පා ගමනින් වුණත් එන්න පුළුවන්. යාපනයේ තියෙන නාගදීපය පස්සේ කාලෙක හදාගත් එකක් කියලා තමයි කියන්නේ.”

”ලංකාව කියන්නේ ඒ කාලේ ඉන්දියාවෙම කොටසක් නේ, ලංකාවට එන්න හැතැප්මක විතර දුරක් තමයි තිබිලා තියෙන්නේ. එහෙ මිනිස්සු ලංකාවට ඇවිත් තියෙන්නේ වෙළෙඳාම සඳහා. පස්සේ යාපනේ පදිංචිකාරයෝ බවට පත්වෙලා තියෙනවා. එයාලා වන්දනාමාන කරන්න කෝවිලක් හදලා තියෙනවා. ඒ නයිනතිව් දූපත නිසා පසු කාලෙක එය නාගදීපය කියලා හඳුන්වලා තියෙනවා  කියලයි මම නම් අහලා තියෙන්නේ” යැයි උන්වහන්සේ අවසන් වශයෙන් පැවසුහ.


ගුප්ත පරිසරයේ මානය දෑසින් ඉවත් වුවද මනසින් දකිමින් අපි නාගදීප වැවේ සොරොව්ව පසු කළෙමු.

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්