Thursday, February 23, 2017

තායිලන්තයේ ‘ක්‍රා කැනල් ව්‍යාපෘතිය’ සහ ලංකාව


ගෙවී යමින් තිබෙනුයේ 2017 වසරේ පෙබරවාරි මාසයයි. වර්ෂය ආරම්භයේදීම ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ නාවික ගමන් අරබයා අසන්නට ලැබෙන ආරංචි බෙහෙවින් කුතුහලය දනවන්නේය. එසේම ඒවා ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක බවද පෙනී යයි. වර්ෂ 2000න් ඇරඹුණු දශකයේ අග භාගය ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ නාවික ගමන් රටාව උඩු යටිකුරු කෙරෙන වකවානුවකි. එහි අලුත්ම තුරුම්පුව වන්නේ තායිලන්තයේ 'ක්‍රා කැනල්' ව්‍යාපෘතියයි. 'ක්‍රා' කැනල් යනු ඉන්දියන් සාගරයත් දකුණු චීන මුහුදත් ඉතා කෙටි මගකින් යා කෙරෙන 'නාවික' ඇළකි.
එය ඉන්දියානු සාගර කලාපයේ වෙළෙඳ නාවික ගමන් රටාව පමණක් නොවේ. ආසියනු කලාපයේ රටවල ආර්ථික සහ දේශපාලන ඉරණම තීන්දු කරන ඒවා මහා පෙරළියකට හසු කරන ප්‍රපංචයක් බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ඉන් අපට උදා වනු ඇත්තේ යම් වාසිදායක තත්ත්වයකි එහෙත් එය පුබුදුවා ගැනීම නම් කොහෙත්ම ලෙහෙසි කරුණක් නොවේ වාසිය අත්පත් කර ගැනීම අසීරු ඉලක්කයකි. එය තීන්දු වනු ඇත්තේ, ඉන්දීය සාගර නමැති නාවික 'රණබිම' අරභයා ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව යන බලවත් රටවල් අතර පවතින සීතල අරගලයෙන් එල්ල වන බලපෑම් අපට වාසිදායක ලෙස කළමනාකරණය කර ගැනීමට ඇති හැකියාව මතය.
තායිලන්තය 'ක්‍රා' කැනල් ව්‍යාපෘතිය ලංකාවට බලපාන ආකාරය ගැන යම් විමසුමක යෙදීම මෙම ලිපියෙහි අරමුණයි. එහෙත් එය තේරුම් ගැනීමට නම්, වර්තමාන ලංකාවේ වෙළෙඳ නාවික ක්‍රියාදාමය කෙසේදැයි අධ්‍යයනය කළ යුතුය. ඉන් ලංකාවේ පමණක් නොව ඉන්දියන් සාගරයේද වෙළෙඳ නාවික ක්‍රියාදාමය තේරුම් ගැනීමට රුකුලක් ලැබේ.
ලංකාව යනු ලෝකයේ කාර්ය බහුලම වෙළෙඳ නැව් මාර්ගය සේ සලකෙන නැගෙනහිර බටහිර නැව් මාර්ගයට ඉතාමත්ම සමීපයෙන් පිහිටි රටකි. එබැවින් අනාදිමත් කාලයක පටන්ම ලොව බටහිර දිග සහ නැගෙනහිර දිග ගමනේ යෙදුණු වෙළෙඳ නෞකාවෝ ලංකාවට සමීපයෙන් යාත්‍රා කළහ. අතීතයේ චීනයත් යුරෝපයත් යා කෙරුණේ 'ගොඩබිම් සේද මාර්ගය මගිනි. පසුකාලීනව එය 'සාගර සේද මාර්ගයක්' බවට පත්විය. එයින් පසුව ඉන්දියන් සාගරයේ නැව් ගමන් වැඩි විණි. අද ලොව 'නැගෙනහිර- බටහිර නැව් මාර්ගය වශයෙන් හැඳින්වෙන්නේ පැරණි සේද මාර්ගයේ වර්තමාන රූපාන්තරණයයි. එය අද ලොව කාර්ය බහුලම නැව් මාර්ගයද වන්නේය. වෙළෙඳ නෞකා නිරන්තරවම එහි යාත්‍රා කරති.
වර්තමාන ලෝකයේ නාවික ප්‍රවාහනයෙන් විශාල කාර්යභාරයක් එයින් ඉටුවන අතර, චීනය, ජපානය, කොරියාව, ආදී ඈත රටවලට ඛනිජ තෙල් සැපයෙන්නේද එයිනි. දැනට තිබෙන තත්ත්වයේ හැටියට ලෝකයට වැඩිපුරම ඉන්ධන සැපයෙන සුප්‍රකට පර්සියන් බොක්කෙහි පිහිටි ඩුබායි' ජාත්‍යන්තර වරාය සහ මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි සිංගප්පූරුවේ වරාය අතර ඇති පුළුල්ම කාර්යක්ෂම බවින් වැඩිම වරාය 'කොළඹ'ය. නැගී එන වරායද ලංකාවේ 'හම්බන්තොට'ය.
කොළඹ වර්තමානයේ දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට පත්වී තිබේ. 'ලෝක නාවික  සභාව' නම් ආයතනය නිකුත් කළ වාර්තා අනුව අපේ කොළඹ 2014 වසරේ කන්ටේනර් මෙහෙයුම් අතින් ලොව 30 වැනි හොඳම වරායයි.


මලක්කාව මගහැර කෙටි මගක්
2010 වසරේ විවෘත කෙරුණු හම්බන්තොට නව වරාය තවම කොළඹ තරම් අතු ඉති විහිදුවා නැත. එහෙත් එය කොළඹ වරායේ ලොකු බෑණා වැනිය. ඉන්දියන් සාගරයේ ප්‍රධාන නාවික කේන්ද්‍රස්තානයක් වීම සඳහා කොළඹටත් වඩා හුරුබුහුටිකම් ඇත්තේද හම්බන්තොටටය. තවම හම්බන්තොටට බහුල වශයෙන් නොපැමිණියද දිනකට වෙළෙඳ නෞකා 200කට අධික සංඛ්‍යාවක් හම්බන්තොටට පෙනි පෙනි ජාත්‍යන්තර නැව් මාර්ගයෙහි යාත්‍රා කරයි තායිලන්තයේ 'ක්‍රා' කැනල්' ව්‍යාපෘතිය ඉදිවුණු පසුව නැගෙනහිර-බටහිර වෙළෙඳ නැව් මාර්ගයේ 'මධ්‍ය වරාය' බවට පත්වනු ඇත්තේ තවදුරටත් සිංගප්පූරුව නොවේ. ලංකාවේ හම්බන්තොටයි 'ක්‍රා' කැනල් යනු දකුණු තායිලන්තයේ 'ඉස්ත්මස්' නම් ප්‍රදේශය හරහා ඉදි කරන්නට යන නාවික ඇළ මාර්ගයකි. එහි දිග කිලෝමීටර් 135කි. පළල මීටර් 400කි. ගැඹුර මීටර් 30කි. ඇළ ඉදි වූ පසුව තායිලන්ත සමුද්‍ර බොක්ක සහ අන්දමන් මුහුද ඉතා කෙටි මාර්ගයකින් එකිනෙකට සම්බන්ධ වේ. එබැවින් ලංකාව අසලින් චීනය දෙසට (පෙරදිගට) යාත්‍රා කරන නෞකාවලට මලක්කා සමුද්‍ර සන්ධිය මගහැර ගමන් කළ හැකි වෙයි. එය කෙටි මගකි. එහිදී තවදුරටත් සිංගප්පූරුවට යන්නට ඕනෑකමක් නැත. දැනට පළවී ඇති ජාත්‍යන්තර වාර්තා අනුව වර්ෂ 1869 මැද පෙරදිග ඊජිප්තුව මැදින් 'සූවස් ඇළ' තැනුවාට පසුව ලෝකයේ ඉදි කෙරෙන වැඩිපුරම කතා බහට ලක් වූ නාවික ඇළ ව්‍යාපෘතිය මෙයයි.
'ක්‍රා' කැනල් ව්‍යාපෘතිය තායිලන්තයේ 'නරායි' රජුගේ සමයේ එනම් වර්ෂ 1677 පටන් පැවැත එන සංවර්ධන යෝජනාවකි. එය මතෛක් වරින් වර ඉස්මතු වෙමින්, යට යමින් පැවැතුණේය.
ඇළ ඉදි කරන්නට යන්නේ දැන්ය.
'ක්‍රා' කැනල් චින තායිලන්ත ඒකාබද්ධ ව්‍යාපෘතියකි. 2015 මැයි මාසයේ 15 වැනිදා චීන සහ තායිලන්ත බලධාරීහු ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ. ව්‍යාපෘතියෙහි සමස්ත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 28කි. ඉදිරි දස වසරක කාලය තුළ එහි ඉදිකිරීම් හමාර කිරීමට නියමිතය.
චීනය නව ව්‍යාපෘතිය පිළිබඳව දක්වන්නේ විශාල උනන්දුවකි. මෑතභාගයේ එයට වැඩි අවධානයක් දක්වා ඇත්තේ චීනයේ හිටපු ජනාධිපති හූ ජිංතාවෝය.
චීනයට එන ඉන්ධන තොග වැඩි හරියක්ම සැපයෙන්නේ (සියයට 80ක්ම) මැද පෙරදිග සහ අප්‍රිකානු රටවලිනි. ඒවා ප්‍රවාහනය කරන නෞකා යාත්‍රා කරන්නේ ඉන්දියන් සාගරය ඔස්සේ ශ්‍රී ලංකාව අයිනෙන්, හම්බන්තොටට අත ‍පොවන දුරින් ගොස්, මලක්කා සමූද්‍ර සන්ධිය හූ ජිංතාවෝ සිංගප්පූරුව අසලින් හැරී පෙරදිගට (චීනයට) යාමෙනි. චීනයේ හිටපු ජනාධිපති හූ ජින්තාවෝ පවසා ඇති අන්දමට එය ඔවුන්ට බලවත් ගැටලුවකි.
ඊට හේතුව වන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදී ඇමෙරිකානු කඳවුරේ උදවිය  කිසියම් අවස්ථාවක මලක්කා සමුද්‍ර සන්ධිය අවහිර කරන්නට ඉඩ තිබිමයි ඉන්දියන් සාගරය සහ පැසිපික් සාගරය වෙන් කෙනෙරන්නේ මලක්කා සමුද්‍ර සන්ධියෙනි. දැනට චීනයට දිවෙන නැව් මාර්ගය (නැගෙනහිර-බටහිර ප්‍රධාන නැව් මාර්ගය) වැටී ඇත්තේ සිංගප්පූරුව සහ මලයාසියාව යන රටල් අසලිනි. ඒවා ඇමෙරිකාවට හිතවත් රටවල් බව චීනයේ කල්පනාවයි. ඇමෙරිකාව කොයි මොහොතක හෝ එම රටවලද සහාය ඇතිව මලක්කා සමූද්‍ර සන්ධිය අවහිර කරන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් චීනය ඇතුළු පෙරදිග රටවලට නැව් ගමන් යනු බොරුය.
එබඳු තත්ත්වයක් ඇති වුවහොත් චීනයට උග්‍ර ඉන්ධන හිඟයකට  මුහුණ පාන්නට සිදුවනු ඇත්තේය. චීන තෙල් නැව් සියල්ලම මලක්කා සමූද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම ඊට හේතුවයි. චීනය ක්‍රා කැනල් ව්‍යාපෘතිය' ඔස්සේ මලක්කා සමුද්‍ර සන්ධිය මගහැර අලුත් නැව් මාර්ගයක් ඉදිකර ගන්නට යන්නේ මේ කාරණය සැලකිල්ලට ගනිමිනි.

චීනයේ ගණන් බැලීම්
ඇමෙරිකාව සහ චීනය අතර පිටතට පෙනෙන තරම් හිත හොඳක්ද නැත. එය රහසක් නොවේ. චීනය මලක්කා සමුද්‍ර සන්ධියේ මග හැර අවදානම ගැන කල්පනා කරන්නේද බොහොම කාලයක සිටය. වර්තමානයේ මුළු ලෝකයටම ඛනිජ තෙල් බෙදා හැරෙන්නේ පර්සියන් බොක්කේ පිහිටි වරායවලිනි. ඉන්දියන් සාගරයෙන් එයට පිවිසෙන (අරාබි මුහුදේ) හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පාකිස්තානයේ ගුවාඩර් වරාය පිහිටා තිබේ. වර්ෂ 2007 දී චීනය පාකිස්තානයට ගුවාඩර් වරාය. සංවර්ධනය කර දුන්නේය. වසරේදීම ඔවුහු ලංකාවේ මහින්ද රාජපක්ෂ රජය සමග එක්ව, හම්බන්තොට වරාය ඉදිකර දුන්හ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කරන්නට සහය වූහ. කොළඹ '‍පෝර්ට් සිටිය' හදන්නට ණය ආධාර දුන්හ. චීනය කරන්නේ ඔවුන්ගේ නෞකා ගමන් කරන මුහුදු කලාපවල පය ගසා ගන්නට තැනක් විධි ක්‍රමයක් සකස්කර ගැනීමයි.
ඔවුන් දැන් බංග්ලාදේශයේ  යෝජිත නව  'පයෙරා' ජාත්‍යන්තර ගැඹුරු වරාය ඉදි කරන්නට උදව් දෙන්නට සූදානමින් සිටිති. ආසියානු කලාපයේ මාධ්‍ය වාර්තා කියන්නේ,  බංග්ලාදේශයට නව වරාය තනා දීමට ඉන්දියාව සහ චීනය 'තරගයක' පැටලී සිටින බවයි මේ රටවල් දෙකටම බෙංගාල බොක්ක මුහුද අතිශයින්ම වැදගත්බව, එවන් තරගයක් ඇති වීමෙන්ම පෙනීයන කාරණයයි බංග්ලාදේශ රජය නව වරාය ඉදිකර ගැනීම පිණිස කුමන රටක හවුල්කාරිත්වය ලබා ගන්නේ ද යන්න තවම ප්‍රකාශකර නැත. නව වරාය ඉදි කෙරෙන්නේ, එරට ඩකා අගනුවරට ද, ඔවුන්ගේ චිතගොං වරායට ද නුදුරිනි.
චීනය නිරන්තරවම සිය සැලසුම සකස් කරන්නේ ආසියානු කලාපයේ මුහුදු බලය කෙරෙහි සැලකිලිමත් වෙමිනි. ඉදිරි සියවසක් තරම් ඈතට කල්පනා කරමිනි.
තායිලන්ත ක්‍රා කැනල් ව්‍යාපෘතිය බිහි වූ පසුව, බටහිර සිට පෙරදිගට හෝ චීනයට යන නෞකාවකට අඩුවන දුර ප්‍රමාණය කිලෝමීටර් 1200 ක් බවට ගණන් බලා තිබේ. වෙළෙඳ නෞකාවන්ට එය ගමන් කලය සහ ඉන්ධන අතින් ගජ වාසියකි. අනෙක මලක්කා සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන්නට ද ඕනෑ නැත. සිංගප්පූරුවට යන්නට ඕනෑ ද නැත. ඇළ විවෘත වීමෙන් පසුව සිංගප්පූරුවේ වරායට එළැඹ ඇති කන්ටේනර් වසන්තය, දීර්ඝ නාවික නියං සමයකට ගොදුරු වනු ඇති බවට දැනටමත් මත පළ වෙමින් තිබේ. ඇතැම් අය කියන්නේ. සිංගප්පූරුවේ වෙළෙඳ නාවික මෙහෙයුම් සියයට 50කින් පමණ පහත වැටෙනු ඇති බවයි. ඊජිප්තුවේ සූවස් ඇළ ඉදි වීමෙන් පසුව අප්‍රිකාවේ කේප් ටවුන් වරායටද එබඳු ඉරණමක් අත්වූහයි. කියනු ලැබේ. සිංගප්පූරුවේ පාලකයන් 'ක්‍රා කැනල් ව්‍යාපෘතියට' කැමැත්තක් පෙන්වන්නේ නැත.


සිංගප්පූරුව යනු ලෝක මට්ටමින්ම, වරාය ලෝකයේ දැවැන්තයෙකි. 2012 වසරේ තොරතුරු අනුව, එයට පැමිණි නෞකා ගණන 1,30,422 කි. ඉන් 18,567 ක්ම කන්ටේනර් ප්‍රවාහන නෞකාය. සිංගප්පූරුවේ වරාය ලොව ප්‍රකටව ඇත්තේ ද කන්ටේනර් මෙහෙයුම් සඳහාය. එබැවින් සිංගප්පූරුව, ඉන්දියන් සාගර කලාපය සහ ඈත පෙරදිග අතර පිහිටි ඉතාමත් ප්‍රබල නාවික කේන්ද්‍රයකි. 'කන්ටේනර් වසන්තය එයින් ගිලිහී ගිය හොත්, මතෛක් සිංගප්පූරුවෙන් කෙරුණු නාවික වැඩ කොටස පැවරෙනු ඇත්තේ ඉන්දියන් සාගරයේ කුමන වරායකටද?
ඒ සඳහා හොඳම තැන ලංකාවේ හම්බන්තොටයි කන්ටේනර් ප්‍රති නැව්ගත කිරීම, නෞකාවන්ට ඉන්ධන සහ ජලය සැපයීම, අලුත්වැඩියා සේවා ආදී නාවික වැඩ කොටස් සම්භාරයක්ම එයට පැවරෙනු ඇත්තේය. ජාත්‍යන්තර නැව් මර්ගයක පිහිටීම, ගොඩබිම් ඉඩකඩ ඕනෑ තරම් තිබිම සහ නාවික තටකයේ ප්‍රශ්ස්ත ගැඹුර යන වරාය කාරණා ත්‍රිත්වයෙහිම වාසිය හම්බන්තොටට තිබේ. ඩුබායි වරාය සහ තායිලන්තයේ ක්‍රා කැනල් අතර, ප්‍රධාන වෙළෙඳ නැව් මාර්ගයේ එවන් පහසුකම් සහිත කිසිදු වරායක් හමුවන්නේ ද නැත. මේ සියලු තත්ත්වයන් ලංකාවට අතිශයින්ම වාසි සහගතය.
එහෙත් වාසිය සිත් පුරා අත්පත්කර ගත හැක්කේ. චීනය පාර්ශ්වයෙන් ද, ඉන්දීය සහ ඇමෙරිකානු පාර්ශ්වයෙන්ද එල්ල වන පීඩනයට සාර්ථකව මුහුණ දීමට හැකි වුවහොත් පමණකි.
ඉන්දියාවට මෙන්ම චීනයටද ඕනෑ වී ඇත්තේ, ඉන්දීය සාගරයේ නාවික ආධිපත්‍ය තම තමන් අතේ රඳවා ගන්නටය. ඇමෙරිකාවට ද ඒ ටිකම ඕනෑ වී තිබේ.  එබැවින් වර්තමාන ඉන්දියන් සාගරය අතීතයටත් වඩා බලවත් රණබිමක් වී ඇති සැටි


0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්